fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්වාධීන රූපවාහිනී මහගෙදර පෙබරවාරි 4 වනදා නිදහස් දිනයදා නව එළඹුමක (VIDEO)

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 19:00

ස්වාධීන රූපවාහිනී මහගෙදර පෙබරවාරි 4 වනදා නිදහස් දිනයදා නව එළඹුමක (VIDEO)

ගුණවත්, හරවත් මෙන්ම පරිණත ගමනක් යන රූපවාහිනියේ වනස්පතියක් වූ ස්වාධීන රූපවාහිනී මහගෙදර පෙබරවාරි 4 වනදා නිදහස් දිනයදා නව එළඹුමක් වෙනුවෙන් සූදානම්ව සිටිනවා. චින්තනය මෙන්ම වින්දනය, වහල් බවින් මුදා විස්සයි විස්ස නව දශකයට රූපවාහිනිය ගෙන යන්නට අප සූදානම්. ඒ පවුලටම එකට නැරඹිය හැකි පුංචි තිරයක් ප්‍රේක්‍ෂක ඔබේ ආලින්දයට ගෙන එමින්.

මෙරට පළමු නාලිකාව ලෙස දශක 4 ක් පුරා ස්වාධීන රූපවාහිනී මහගෙදර ප්‍රේක්‍ෂක ජනතාවට සමීප වූයේ ගුණාත්මක මෙන්ම උසස් රසවින්දනයක් තුළින් ජන මනස ප්‍රඥාව වෙත ගෙන යමින්. එහි තවත් සුවිශේෂී පියවරක් ලෙස ලබන 4 වනදා දැනෙන වෙනස්කම් රැසක් ගෞරවණීය ප්‍රේක්‍ෂක ජනතාව වෙත සමීප කිරීමට ස්වාධීන රූපවාහිනිය සූදානම්ව සිටිනවා. විස්සයි විස්ස තාක්‍ෂණික දශකයේ රූපවාහිනිය අලුත් කරන්නට අප සූදානම්.  වසර 40 ක් වයසැති අප ප්‍රේක්‍ෂකයාගේ රුචි අරුචිකම් මෙන්ම චින්තන පරාසයන් හඳුනාගෙන  අවසන්. එම පරිණත බව සමගින්  ස්වාධීන රූපවාහිනිය නව ගමනකට අවතීර්ණ වන්නේ ටෙලි නාට්‍ය, ප්‍රවෘත්ති, කාලීන වැඩසටහන් ඇතුලු සියලු වැඩසටහන්වල නව මුහුණුවරක් සහිතවයි.

නව ප්‍රවේශය පිළිබඳ දැනුවත් කිරීමේ හමුවක් කොළඹදී පැවැත්වුණා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි එය පැවැත්වුණේ. හරවත්, ගුණවත් මාධ්‍ය කලාවක් වෙනුවෙන් ස්වාධීන රුපවාහිනිය වටා එක්රොක් වී සිටින අනුග්‍රාහක ආයතනවල ප්‍රධානීන්, කලාකරුවන් ඇතුලු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. සෑම විටම ප්‍රේක්‍ෂක මනස නොසන්සුන් කරන මාවතෙන් බැහැර වූ ස්වාධීන රූපවාහිනිය මෙකී විප්ලවයට උර දෙමින් හරවත් ටෙලි නාට්‍ය ඔබේ ආලින්දයට ගෙන එන්නට සූදානම්.

ගුණාත්මක ටෙලි නාට්‍ය කලාවක් පිළිබඳ කථිකාවක් යළි ගොඩනැගීම ස්වාධීන රූපවාහිනියේ අරමුණයි. පෙබරවාරි 4 වනදා නිදහස් දිනය දා ස්වාධීන රූපවාහිනිය තබන නව එළඹුම පිළිබඳ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා පැහැදිලි කළා.

එදා මෙදා තුර සියලු මාධ්‍යයන්ට ආදර්ශයක් වූ ස්වාධීන රූපවාහිනී මහ ගෙදර නව ගමනත් සමග එම යුතුකම වඩාත් හොඳින් ඉටුකරනු ඇති බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

තොරතුරු තාක්‍ෂණය හා සමාජ මාධ්‍ය ව්‍යාප්තිය තුළින් සාම්ප්‍රදායික මාධ්‍යයන්ට ස්වකීය ගමන්මග වෙනස් කිරීමට බල කෙරෙන යුගයකට අප පැමිණ සිටිනවා. එම අභියෝගත්  අපේකමත් රැක ගනිමින් විස්සයි විස්ස නව දශකයට අප සූදානම්.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 19:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo