fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Update : රන්ජන් රාමනායක ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 13:46

Update : රන්ජන් රාමනායක ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Update: පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ගංගොඩවිල මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතායි නියෝගය ලබාදුන්නේ.

ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙරුණේ අද පස්වරුවේයි. අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරිවලට අනිසි බලපෑම් එල්ල කිරීමේ චෝදනාව මතයි රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැණුනේ. ඒ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවකට අනුවයි. අත්අඩංගුවට ගැණුන රන්ජන් රාමනායක මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය දීර්ඝ වශයෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙසේ ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණා.

රන්ජන් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට

රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය මේ වන විට කටයුතු කර තිබෙනවා. මීට ටික වේලාවකට පෙර ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට ගංගොඩවිල මහේස්ත්‍රාත් නිල නිවස වෙත රැගෙන එනු ලැබුවා.

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරිවලට අනිසි බලපෑම් එල්ල කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායක මහතා ඊයේ අත්අඩංගුවට ගැණුනේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුවයි. ඒ  නීතිපති දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවයි. රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කර තිබුණා. ඒ අනුවයි අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැණුනේ.

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් ඔහු  කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ආවා. එහිදී සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවයි  ගංගොඩවිල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එනු ලැබුවේ. රංජන් රාමනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඇ දෙක වගන්තිය යටතේ ගැනෙන වරදක් සිදුකර ඇති බවටයි නීතිපතිවරයා දන්වා ඇත්තේ.  ඒ මහතා අධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනෙකු සමඟ පැවැත්වූ දුරකථන සංවාද පරික්‍ෂා කිරිමේදී විනිසුරුවරුන්ගේ රාජකාරිවලට අනිසි බලපෑම් සිදුකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඒ අනුව අධිකරණ කටයුතුවලට හෝ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරිවලට බලපෑමක් කරන්නේ නම් එම පුද්ගලයාට එරෙහිව මහාධිකරණයක් මඟින් දඩයක් සමඟ වසරක සිරදඩුවම් නියම කළ හැකියි. එවැනි පුද්ගලයෙකුට වසර 7 ක කාලයක් ඡන්ද හිමියෙකු වීමට ජනමත විචාරණයක් , පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් සඳහා ඡන්දය දීමට හෝ රජයේ කිසිඳු තනතුරක් දැරීමට සුදුසුකම් නොලබන බව එම ව්‍යවස්ථා ප්‍රතිපාදනයේ සඳහන්.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 13:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo