වසර තුනක සිරදඩුවම් නියම වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එම තීන්දුවෙන් පැය කිහිපයකට පසු ඇප හිමිවුණා. ඒ ඔහු ගොනුකළ අභියාචන පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.
සරණ ගුණවර්ධන මහතා 2005 වසරේ සිට 2007 වසර දක්වා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. එම කාලයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට බව පවසමින් වාහන තුනක් මිලදී ගෙන රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබුණේ අල්ලස් කොමිෂන් සභාවයි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වසර තුනක සිරදඩුවම් වලට අමතරව රුපියල් ලක්ෂ තුනක දඩයක් ද නියම කළා.
කෙසේ වෙතත් සරණ ගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් අද (07) පස්වරුවේ අභියාචන පෙත්සමක් අධිකරණය වෙත ඉදිරිපත් කළා. එය සළකා බැලීමෙන් පසු ඒ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.