නිකවැරටිය දැරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධ පැමිණිලි භාර නොගෙන ඇයගේ මිත්තණිය ආපසු හරවා යැවීමේ චෝදනාවට පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.
මේ අතර අදාළ දැරිය තවමත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
කාන්තාවන් දෙදෙනෙකු අමානුෂික ලෙස දැරියකට පහරදෙන දර්ශන මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟ ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණා. ඒ අනුවයි දැරියගේ පියා ,දෙවන විවාහයේ බිරිද සහ එම කාන්තාවගේ සහෝදරිය වන ග්‍රාමනිලධාරිණිය අත්අඩංගුවට ගැනුණේ. දැරියට නිරන්තරව වද හිංසා පමුණුවන බවට නිකවැරටිය සහ කොටහෙවෙහෙර පොලිස් ස්ථානවලට පැමිණිලි කළද එම පැමිණිලි භාර නොගත් බවට දැරියගේ මිත්තණිය ප්‍රකාශ කර තිබුණා. මෙය රාජකාරිය බරපතල ලෙස පැහැර හැරීමක් බැවින් එම පොලිස් ස්ථානවල ළමා හා කාන්තා කාර්යාංශ භාර ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා.
මේ අතර අදාළ දැරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අද සවස යොමු කර තිබෙනවා. පරිවාස හා ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද පැමිණ දැරිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලුවා.