වේරහැර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ සිදුවන වංචාවක් පිලිබද තොරතුරු හෙළිවුණා. එම කාර්යාලයේ ප්‍රවාහන වෛද්‍ය අංශයේ සේවකයන් කිහිපදෙනෙකු සහ තැරැව්කරුවන් එක්ව මෙම වංචාව සිදුකරන බවටයි ජනතාව පැමිණිලි කර තිබෙන්නේ.
රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා වෛද්‍ය පරික්ෂණ වලට පෙනීසිටින පුද්ගලයන් රුධිරගත සීනි මට්ටම මෙන්ම දියවැඩියා රෝග පරීක්ෂාවකට යොමු කිරීම සාමාන්‍ය ක්රමවේදයයි. එහෙත් පරීක්ෂණයට පෙනීසිටින ඇතැම් පුද්ගලයන්ගේ දියවැඩියාව හා රුධිරගත සීනි මට්ටම පිළිබද ගැටලුවක් නොමැති වුවද අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් එහි සේවකයන් ඔවුන්ගෙන් මුදල් ලබාගැනීමට පෙළඹ තිබෙනවා. එමෙන්ම දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකුට වුවද රෝග තත්වයන් නොමැති බවට සනාථ කරදීම සඳහා ද මුදල් ලබාගන්නා බවයි හෙලිවුණේ.
මෙම කරුණු පිළිබද ජනතාව තමාට දැනුවත් කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරීන්ට දැනුම් දුන්නා. මේ පිළිබද වහාම සොයා බලා නීතිමය පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා උපදෙස්දී තිබෙන්නේ.