නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන කොන්ත්රාත්තුවේදී සිදුව ඇතැයි කියන වංචා සෙවීමට ස්වාධීන කොමිසමක් පත් කිරීමට තීරණය වී තිබෙනවා.
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් රියදුරු බලපත්‍ර මුද්‍රණයට පරිගණක පද්ධතියක් හා තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබුණා. ගිවිසුම් කාලසීමාව තුළ එය ක්‍රියාත්මක කිරීම හා අදාළ පද්ධතිය දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීම යන කාරණා ඊට ඇතුළත්. කොන්ත්‍රාත්තුව භාරගත් සමාගමට ගිවිසුමට අදාළව කටයුතු කිරීමට නොහැකිවීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 4000 කට අධික මුදලක් අහිමි වී තිබෙනවා.
අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී කරුණු ගණනාවක් හෙළිදරව් වුණා. විගණන වාර්තා අනුව 2009 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ මෙම සැපයුම් සමාගමට රුපියල් මිලියන 7467.65ක මුදලක් ගෙවා තිබෙනවා. ගිවිසුම අවසන් වූ පසු 2016 වසරේ මාර්තු මාසයේ සිට 2017 වසරේ දෙසැම්බර් 31 දක්වා වූ කාලය තුළ එම සමාගමට තවත් රුපියල් මිලියන 1856.65ක මුදලක් ගෙවා ඇති බව සඳහන්. මෙම තත්ත්වය මත විශාල මුදල් වංචාවක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනය කර අදාළ සමාගමට ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීම අත්හිටුවීමට හා එම සමාගම අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී ප්‍රකාශ කළා. මෙම වංචාව පිළිබඳ විමර්ශනයට ස්වාධීන කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.