fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජිත ඉදිරිපත් කළ දෙවන ඇප අයැදුම්පත ලබන 30 වනදා තෙක් කල් තැබේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2019 15:41

රාජිත ඉදිරිපත් කළ දෙවන ඇප අයැදුම්පත ලබන 30 වනදා තෙක් කල් තැබේ

තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ඉදිරිපත් කළ දෙවන අපේක්ෂිත ඇප අයැදුම්පත ලබන 30 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළා.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ සුදු වෑන් සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාව හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ඉල්ලමින් රාජිත සේනාරත්න මහතා අපේක්ෂිත ඇප අයැදුම්පතක් පසුගියදා ඉදිරිපත් කළා. එම ඇප අයැදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කළා. ඒ අත්අඩංගුවට ගැනීමට අදාළ චෝදනා පිළිබද සදහන් නොවීම හේතුවෙන්. ඒ අනුවයි ඔහු සංශෝධිත දෙවන ඇප අයැදුම්පතක් ඉදිරිපත් කළේ. එම අපේක්ෂිත ඇප අයැදුම්පතේ වගඋත්තරකරුවන්ට ලබන 30 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ විමර්ශන සිදුකරන ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු ඊට ඇතුළත්. මේ අතර මෙම සිද්ධියට අදාළව නව ලේඛනද ඇතුළත් කොට රාජිත සේනාරත්න මහතා සිය තුන්වන අපේක්ෂිත ඇප අයැදුම්පතද අධිකරණය හමුවේ ගොනු කළා. ඒ සිය නීතිඥවරුන් මාර්ගයෙන්. එම අපේක්ෂිත ඇප අයැදුම්පතද ලබන 30 වනදා සළකා බැලීමට නියමිතයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සුදු වෑන්වලින් පුද්ගලයන්ව පැහැරගෙන ගොස් කිඹුලන්ට කෑමට දුන් බවට ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූයේ පසුගිය ජනාධිපතිවරණ සමයේදීයි.

මෙම සුදු වෑන් සිද්ධිය පිළිබද මාධ්‍ය සාකච්ඡාවට එක් වූ  පුද්ගලයින් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. මෙය මුළුමනින්ම ගෙතූ ප්‍රවෘත්තියක් බවයි ඔවුන්ගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී හෙළිව ඇත්තේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබද පරීක්ෂණ පවත්වනවා.

මේ අතර මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල මුලික කරගෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කළ බව කියන වංචාවක් පිළිබදව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. ඒ පිළිබද කටඋත්තර ලබාදීම සදහා මුසම්මිල් මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ස්විස් තානාපති නිලධාරිනිය සුදු වෑන් රථයකින් පැහැර ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ සදහා අවශ්‍ය තොරතුරු ලබාදීමට සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව පෙරේරා මහතාද අද එම දෙපාර්තමේන්තුවට පැමිණියා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2019 15:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්