fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙටින් පසු තද වැසි තත්වයේ අඩුවීමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2019 17:45

හෙටින් පසු තද වැසි තත්වයේ අඩුවීමක්

හෙටින් පසු තද වැසි තත්ත්වය තාවකාලිකව අඩු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය මහත්මිය පවසනවා.

මේ අතර පවතින අයහපත් කාලගුණයෙන් දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 112 ක පවුල් දහනව දහස් අනූ පහක පුද්ගලයන් හැටපන්දහස් දෙසිය අනූ හතර දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

පැවති අයහපත් කාලගුණයත් සමග මඩකලපුව දිස්ත්‍රික්කයේ අක්කර පනස් දහසක පමණ වී වගාවක් ජලයෙන් යට වී තිබෙනවා. පවතින ගංවතුරෙන් අක්කර දසදහස් හාරසියයක වගාවක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. වව්නතිව්, කොක්කඩිචෝලේ, වෙල්ලාවෙලි, කිරාන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක මෙම ජල ගැලීම් පවතිනවා.

වව්නියාව දිස්ත්‍රික්කයේ කුඩා වැව් 742 ක පිටාර මට්ටමට ජලය පිරී තිබෙන බව අප වාර්තාකරුවන් පවසනවා. ඊයේ රාත්‍රී ඇදහැලුනු මහ වර්ෂාව සමග වව්නියාව නගරයේ පිහිටා ඇති මහ වැව් සහ තවත් වැව් කිහිපයක් පිටාර ගලා තිබෙනවා. කල්ආරු ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමග ඓතිහාසික වෙලම්පගොඩ පුරාණ විහාරස්ථානය ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබෙනවා. මෙම විහාරස්ථානය වසර සියයකට වඩා පැරණි පූජ්‍ය ස්ථානයක් බවයි විහාරාධිපති පූජ්‍ය කන්තලේ ඥානබුද්ධි ස්වාමීන් වහන්සේ සදහන් කළේ. ඊයේ රාත්‍රියේ විහාරස්ථානයේ පැතිබැම්මක් කඩා වැටීමෙන් ප්‍රවේශ මාර්ගයක්ද අවහිර වුණා.

පාලින්ද නුවර ගලහිටිය මගුරුගගෙන් එතෙරවීමට උත්සාහ කරමින් සිටි එකම පවුලේ නව දෙනෙකු සැඩ පහරට හසුව තිබෙනවා. ඉන් හත් දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරුවන් සදහන් කරන්නේ. බුලත්සිංහල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා ආපසු එමින් සිටියදී අද අලුයම දෙකට පමණ මෙම පිරිස අගුලක ආධාරයෙන් ගගෙන් එතෙර වීමට උත්සාහ දරා තිබෙනවා.

හගුරන්කෙත පල්ලෙබෝවෙල ප්‍රදේශයේ නායයාම් අවදානමට මුහුණ දී සිටි පවුලක් සදහා නිවසක් ලබාදීමට රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා කටයුතු කර තිබෙනවා. ගැබිනි මවකද වාසය කළ එම නිවසේ තිබූ අවදානම්කාරී තත්ත්වය හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2019 17:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්