තිස්සමහාරාම වීරවිල සතොස ගබඩාවෙන් වංචනික ලෙස සහල් ලබා ගැනීමේ ජාවාරමක් හෙළිව තිබෙනවා. සහල් සඳහා රජය පාලන මිලක් නියම කර තිබුණද මෙවැනි ජාවාරම් හමුවේ ජනතාව වැඩි මිලට සහල් මිලදී ගනිමින් දැඩි පීඩාවට පත්ව සිටිනවා.
තිස්සමහාරාම වීරවිල පිහිටි සතොස ගබඩාවේ මෙම ජාවාරම බොහෝ කලක සිට සිදුකර ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ. එම තොරතුරු අනුව ගබඩා සංකීර්ණය වෙත ගොස් එම කටයුතු නිරීක්ෂණය කිරීමට අප කටයුතු කළා. එම අවස්ථාව වන විටත් සහල් ලොරි හයක් වංචනික ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබුණා. සතොස අලෙවිසැල් මඟින් එක් පාරිභෝගිකයෙකු වෙනුවෙන් නිදහස් කරන්නේ සහල් කිලෝ 10 ක් පමණයි. එහෙත් සමූපකාර සමිතිවලට එම නීතිය වලංගු නොවීමත් සමඟ මෙම ජාවාරම සිදුකරන්නේ තිස්සමහාරාම සමූපකාර සමිතිය හරහා බවටයි තොරතුරු අනාවරණය වන්නේ. මෙම සමූපකාර සමිතිය වෙත සහල් නිකුත් කරන්නේ රුපියල් 88 ක මුදලටයි. එලෙස මිලදී ගන්නා සහල් පෞද්ගලික ව්‍යාපාරිකයන් වෙත ලබාදීමෙන් පසු ඔවුන් රුපියල් 98 ක මුදලකට අලෙවි කිරිමත් සමඟ ජනතාව මෙම ජාවාරමෙන් පීඩාවට පත්ව සිටිනවා. එලෙස ලබා ගත් සහල් ලොරි මෙම ස්ථානයෙන් පිටව යන ආකාරය දැකගත හැකි වුවද ඒවා කුමන ස්ථානයකට යන්නේ යන්න පිළිබඳ කිසිඳු සටහනක් වීරවිල සතොස ගබඩාවේ සටහන්ව තිබුණේ නැහැ. මෙම ජාවාරමේ තොරතුරු හෙළිකර ගැනීමත් සමඟ මෙම සහල් ලොරි ගබඩාවේ රඳවා ගැනීමට වීරවිල පොලීසිය කටයුතු කළා. මේ සම්බන්ධයෙන් ඊයේ රාත්රියේදී පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කළද අද උදෑසන වනතෙක් ඔවුන් මෙහි නොපැමිණි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.