fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද සහ හෙට වැසි වැඩි වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2019 09:17

අද සහ හෙට වැසි වැඩි වෙයි

දිවයින පුරා වැසි තත්ත්වය අද සහ හෙට දිනයන්හිදීද තවදුරටත් වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින අධික වර්ෂාවත් සමඟ කලා වැවේ වාන් දොරටු දෙකක් අඩි 18 බැගින් විවෘත කර තිබෙනවා. තත්පරයට ඝන අඩි 33000 ක ජල ප්‍රමාණයක් කලාවැවට මුදා හැරෙනවා. මේ හේතුවෙන් අනුරාධපුර, ගල්නෑව, හූරිගස්වැව ප්‍රදේශයේ ජල ගැලීමෙන් කොටු වී සිටින පුද්ගලයින් පිරිසක් බේරා ගැනීමට නාවික හමුදාව ඊයේ රාත්‍රියේදී සමත් වුණා.

මේ අතර  වැලිමඩ ප්‍රදේශයේ අඹේවෙල වෝවික් වතුයායේ නිවාස කිහිපයක් නායයාමේ අවධානමට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් එම නිවාස වල පදිංචි පවුල් 48ක පුද්ගලයින් 225 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට කටයුතු කළ බවයි වැලිමඩ ප්‍රදේශිය ලේකම් චමින්ද වීරසිංහ මහතා පවසා සිටියේ.  අවතැන් වූ පුද්ගලයින් සඳහා අවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සැපයීමට  වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

අධික වර්ෂාවත් සමඟ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු ද විවෘත කෙරුණා. මහවැලි ගග පිටාර ගැලීමත් සමඟ ඓතිහාසික සෝමාවතී පුදබිම අඩි 10 ක් පමණ ජලයෙන් යටව පවතිනවා. මේ අතර නැවත දැනුම්දෙනතුරු සෝමාවතී පුදබිමට නොපැමිණෙන ලෙසයි දැනුම් දී තිබෙන්නේ.

අනුරාධපුර රාජාංගනය ජලාශයේ ද වාන් දොරටු  විවෘත කර තිබෙනවා. කලා වැව මාර්ගය හිරිපිටියාගම ගල්නෑව මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් යටව පවතිනවා. මේ අතර ආපදාවට පත් ජනතාව පිළිබඳ සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ පස්වරුවේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා.

මොණරාගල දිස්ත්‍රික්කයට ඇද හැලුනු වර්ෂාවත් සමඟ නිවාස 400 ක් පමණ ජලයෙන් යටව පවතිනවා. සෙල්ල කතරගම ඝනදෙවි දේවාලය හා ලක්ෂ්මි දේවාලයද ජලයෙන් යටව පවතිනවා. ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එම ප්‍රදේශ වෙත ගොස් අදාළ කටයුතු සොයා බැලුවා.

හගුරන්කෙත පොලිස් බල ප්‍රදේශයේ පල්ලෙබෝවල ගන්නෑව රකම්පනේ ගම්මානයේ සිදු වූ නායයාමෙන් පවුල් 11 ක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගැනුණා.

ඉඹුල්පේ නන්පේරියල් නන්රැක් මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ හේතුවෙන් පවුල් 45 කට අයත් ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්