මහජන බුද්ධි අංශයක් ඇතිකොට රටේ වංචා හා දූෂණ සම්බන්ධ සියලු වාර්තා රජයට ලබා දීමට කටයුතු කරන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. කොළඹ ධර්මායතනය වෙත ජනාධිපතිතුමා පැමිණි අවස්ථාවේයි උන් වහන්සේ මේ බව සදහන් කළේ.
කොළඹ ධර්මායතනය වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. රට වෙනුවෙන් වූ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සියලු පාර්ශ්වවල සහාය ජනාධිපතිතුමාට හිමිවිය යුතු අතර එම ගමනට අවැසි සුදුසුම කණ්ඩායමක් තෝරා ගැනීම වැදගත් බවද උන් වහන්සේ මෙහිදී අවධාරණය කළා.
රාමඤ්ඤ නිකායේ මහා නායක පූජ්‍ය මාතලේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහා සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/cAIrcSQGNn0″]
ඉන් අනතුරුව බම්බලපිටිය සිරිවජිරාරාමය වෙත පැමිණි ජනාධිපතිතුමා අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහා නායක ආචාර්ය පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී උන් වහන්සේ විශේෂ අනුශාසනාවක් ද සිදු කළා. ධර්ම තාන්ත්‍රික සමාජයක් මාතෘ භූමිය තුළ නිර්මාණය කිරීමට ජනාධිපතිතුමාට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කළ නාහිමියන් එවන් සමාජයක් රට තුළ ගොඩනැගිය හැකි එකම නායකයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පමණක් බවද සදහන් කළා.
ගෙවී ගිය මාසයක් වැනි කෙටි කාලයක් තුළ ජනාධිපතිතුමා දිනා ගත් මහජන ප්‍රසාදය උන් වහන්සේගේ පැසසුමට ලක් වුණා. රටට අලුත් දෙයක් එක්කරමින් නීතිගරුක, යුක්තිගරුක හා ධර්මය ඉස්මතු වන සමාජයක් ගොඩනැගීමේ ජනපතිගේ කැපවීම අගය කළ නාහිමියන් නායකත්වයේ එම අධ්‍යාසය මල්ඵල ගැන්වීමට සියලු මැති ඇමතිවරුන්ගේ සහාය නොඅඩුව හිමිවිය යුතු බවද අවධාරණය කළා. ජනතාවගේ ආධ්‍යාත්මය සංවර්ධනය නොකොට අපේක්ෂිත දියුණු සමාජයක් ගොඩනැගිය නොහැකියි.
එවැනි ධාර්මික සහ චරිතවත් සමාජයක් නිර්මාණය කිරීමට අදාළ යෝජනාවලියක්ද නායක ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමා වෙත මෙහිදී භාර දුන්නා.