fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලකළ ත්‍රස්තයින් සිදුකළ සාකච්ඡාවේ දර්ශන රහස් පොලීසියට ලබාදෙන්නැයි නියෝග

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2019 18:50

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලකළ ත්‍රස්තයින් සිදුකළ සාකච්ඡාවේ දර්ශන රහස් පොලීසියට ලබාදෙන්නැයි නියෝග

පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් එම ප්‍රහාර සම්බන්ධයෙන් මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ හෝටලයකදී පැවැත්වූ රහසිගත සාකච්ඡාව පිළිබද සීසීටීවි දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස අධිකරණය අදාළ හෝටල්වල කළමනාකරුවන්ට නියෝග කළා.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති පරික්‍ෂණ කොමිෂන් සභාව අද (20) දිනයේ ද සාක්‍ෂි සටහන් කර ගැනීම සිදු කළා.

ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බ ප්‍රහාරය සිදුකළ මොහොමඩ් සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් පිරිස ප්‍රහාර සම්බන්ධයෙන් ඒත්තුකාල ප්‍රදේශයේ හෝටලයකදී රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. අදාළ සාකච්ඡාව පිළිබද වීඩියෝ දර්ශන විමර්ශන කටයුතුවලට අවශ්‍ය බවයි රහස් පොලීසිය සදහන් කළේ. මෙම කරුණු සැළකිල්ලට ගත් අධිකරණය අදාළ දර්ශන රහස් පොලීසියට ලබාදෙන ලෙසට හෝටල් කළමනාකාරීත්වයට නියෝග කළා. මෙසේ දර්ශන ලබා දෙන ලෙසට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් පුද්ගලයන් 259 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. 500 කට අධික පිරිසක් තුවාල ලැබුවා. රටම ආපස්සට හරවමින් එල්ල කළ මෙම ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශන සිදු කිරීමට ජනාධිපති පරික්‍ෂණ කොමිෂන් සභාවක් පත් කෙරුණා. එම කොමිෂන් සභාව මෙතෙක් සිදු කළ පරික්‍ෂණ ඇසුරින් අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත භාර දුන්නා. මේ අතර ජනාධිපති පරික්‍ෂණ කොමිෂන් සභාව අද (20) දිනයේ පොලිස් නිලධාරීන් 6 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කළා.

එල් සී විජේසිංහ,  එච් එම් කේ බී හේරත් යන පොලිස් පරික්‍ෂකවරුන්,  පොලිස් සැරයන්වරුන් වන එම් කුමාරවේල්,  ඒ එම් කේ ජී සී බි අබේසිංහ,  පොලිස් කොස්තාපල් කේ එම් යූ කේ කුලතුංග,  උප පොලිස් පරික්‍ෂක ඩී ඒ එන් ඒ දසනායක යන අයගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කර ගැනිම සිදුවනවා.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාර හා එහි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී අදහස් පළ කෙරුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2019 18:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo