fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාඨලී සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් පරික්ෂණ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2019 17:43

පාඨලී සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් පරික්ෂණ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් පුළුල් පරික්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර ඒ මහතාගේ සුවදුක් සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද (20) වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියා.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කොට රියදුරු මාරු කර එම අනතුර පිළිබද තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනුණේ. අත්අඩංගුවට ගත් ඔහු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළා. එමෙන්ම පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් සිදුකර පරික්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළා.

2016 වසරේ සිදුවූ මෙම රිය අනතුරින් බරපතල තුවාල ලැබූ සංදීප් සම්පත් මේ වනවිට පූර්ණ ආබාධිත තත්ත්වයෙන් පසුවනවා . අනතුරෙන් තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සති කිහිපයක් සිහිසුන්ව ප්‍රතිකාර ලැබුවා.

එසේ වුවද මෙම අනතුර සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන පරික්ෂණ තවදුරටත් පුළුල් කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාඨලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසා බැලීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියා.

මේ අතර පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරෙකුගේ  භාර්යාවට පොලිස් නිලධාරීන් රාත්‍රි කාලයේ බලපෑම් එල්ලකළ බව පවසමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා.

හිටපු පළාත් සභා මන්ත්‍රි නිරෝෂා අතුකෝරල මහත්මියයි එය ඉදිරිපත් කළේ.

මේ අතර අද (20) පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළවුණා.

මේ අතර පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඊයේ (19) ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා මීට අදාළ කරුණු රැසක් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.  ඔහු කියා සිටියේ රිය අනතුර සිදුවන වකවානුවේ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියා චම්පික රණවක මහතා රිය අනතුර සිදු නොකළ බවටත් වෙනත් පුද්ගලයෙකු සිදුකළ බවටත් සටහන් යොදන ලෙස එම පොලිසියේ රථවාහන අංශ නිලධාරීන්ට බලපෑම් කර ඇති බවයි.

රිය අනතුර සිදුවන වකවානුවේ කොළඹ ප්‍රදේශය භාරව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතා අදාළ සිද්ධියේ කරුණු වසන් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා. පොලිස් නිලධාරීන් ඉතා කුමන්ත්‍රණකාරී ලෙස චම්පික රණවක මහතා බේරා ගැනීමට කටයුතු කර ඇති බවයි දිලීප පීරිස් මහතා කියා සිටියේ. එම නිලධාරීන් ද අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින දිලුම් තුසිතකුමාර නමැති සැකකරු කිසියම් පිරිසක් සගවාගෙන සිටින බවටද තොරතුරු ලැබී ඇතැයි අධිකරණය හමුවේ කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම නිසා පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමට විරුද්ධ බවයි පැවසුවේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2019 17:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්