වංචනික වෙළෙදුන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාරිභෝගික අධිකාරියට දැනුම්දී තිබෙනවා.
භාණ්ඩ මිල ගණන් පිළිබද සොයා බැලීම සදහා ජනාධිපතිතුමා නාරහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීයි ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදී ඇත්තේ. සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගියදා නිවේදනය කළා. මෙම පාලන මිල උල්ලංඝනය කරමින් වෙළෙදුන් වැඩි මිල ගණන් වලට සහල් විකුණන බවටයි පාරිභෝගික ජනතාව චෝදනා කළේ.
ප්‍රධාන සැපයුම්කරුවන් සමග සාකච්ඡාකර සහල් සදහා පාලන මිලක් නියම කිරීමට අමාත්‍ය මණ්ඩලය පියවර ගත්තා. තත්ත්වය මෙසේ පවතිද්දී වැඩි මිලට සහල් විකිණීම පිළිබදව සොයා බැලීමට ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමුවුණා. නාරහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් දුරකතන ඔස්සේ සම්බන්ධකර ගත් ජනාධිපතිතුමා බදු සහනවල ප්රතිලාභ නිසි ලෙස ව්‍යාපාරිකයින්ට සහ පාරිභෝගිකයන්ට ලැබෙන්නේද යන්න සොයා බලන ලෙස දැනුම් දුන්නා. සහල් සගවා තබාගෙන කෘතිම ලෙස මිල ඉහළ දමන වෙළෙදුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා.