ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම තුළින් රජය අපහසුතාවට පත් කිරීම යන චෝදනාව යටතේ නීතිපති උපදෙස් මත රහස් පොලීසිය ඇය අත්අඩංගුවට ගත්තා.
පැහැර ගැනීමට හා ලිංගික අපයෝජනයට ලක්වූ බව පැවසූ ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ හයවන දිනටයි. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ ආරක්ෂාවක් යටතේ මෙම කාන්තාව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් වෙත යොමු කිරීමට රැගෙන යනු ලැබුවා. ඒ ඇය විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කරන ලෙස අධිකරණය පසුගියදා කළ නියෝගයට අනුවයි.
අංගොඩ මානසික රෝග විද්‍යායතනයේදී අදාළ පරීක්ෂණවලින් අනතුරුව එහි සිට ඇය යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබුවා.
මේ අතර නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේ පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙම තානාපති නිලධාරිනිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඒ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේ චෝදනාව යටතේයි. ඒ අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරනු ලැබුවේ.
මේ අතර මෙම කාන්තාවට විදේශගතවීම තහනම් කරමින් නිකුත් කළ නියෝගය ද හෙට දිනය දක්වා ක්‍රියාත්මකයි. ස්වීට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේදී මෙම කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීම ද අධිකරණය මීට පෙර ප්‍රතික්ෂේප කළා. අදාළ නඩුව හෙට දිනයේදී යළි කැදවීමටයි එදින නියම කෙරුණේ. සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය මෙතෙක් සිදුකළ පරීක්ෂණ පිළිබඳව එහිදී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/C9WwO42GWnM”]