fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ සුදු වෑන් රියදුරන් දෙදෙනාගෙන් තොරතුරු රැසක් (Video)

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2019 18:55

ව්‍යාජ සුදු වෑන් රියදුරන් දෙදෙනාගෙන් තොරතුරු රැසක් (Video)

සුදුවෑන් රියදුරන් ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් විවිධ ප්‍රකාශ සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ අමාත්‍යාංශයක රියදුරෙකු ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. රහස් පොලිස් භාරයේ පසුවන මෙම දෙදෙනා මේ වන විටත් වැදගත් තොරතුරු රැසක් හෙළිකර ඇති බවයි පැවසෙන්නේ.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවකට එක්වූ සුදු වෑන් රියදුරු හා සුදුවෑන් වලින් පැහැරගත් අවස්ථාවේදී දිවි ගලවාගත් බව කියන පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා අත්අඩංගුවට ගත්තා. ඒ මහර ප්‍රදේශයේ අවන්හලක රැඳී සිටියදීයි. පසුගිය කාලයේ සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාමේ අවස්ථාවලදී එම වෑන් රථවල රියදුරෙකු ලෙස තමා කටයුතු කළ බවයි ඇන්තනී ප්‍රනාන්දු නමැති මෙම පුද්ගලයා පසුගිය නොවැම්බර් 10 වනදා පැවති මාධ්‍ය හමුවේදී කියාසිටියේ.

සුදු වෑන්වලින් පැහැරගත් අවස්ථාවේ දිවි ගලවාගත් බව ප්‍රකාශ කළ අතුල සංජීව මදනායක නමැත්තා ද එහිදී ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කළා.

මෙම බරපතල ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් ඔස්සේ පරික්‍ෂණ ක්‍රියාත්මක කළා. ඒ අනුව තහවුරු කරගත් තොරතුරු මත කරුණු අධිකරණයට වාර්තා කිරීමටයි එම දෙපාර්තමේන්තුව කටයුතු කළේ. ඉන් අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත සැකකරුවන් දෙදෙනා පැය 72 ක් තම භාරයේ රඳවාගෙන ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගත්තා. මෙහිදී මෙම සැකකරුවන් දෙදෙනා වැදගත් තොරතුරු රැසක් හෙළිකර ඇති බවයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ. එමෙන්ම එක් සැකකරුවෙකු පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ අමාත්‍යාංශයක රියදුරෙකු ලෙස කටයුතු කර ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා. සැකකරුවන් දෙදෙනා හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2019 18:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්