පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව අදත් (14) රැස් වුණා. මෙහිදී කිසියම් පුද්ගලයෙකු රහසිගතව සාක්ෂි ලබා දීමට ඉදිරිපත් වූ අතර ඔහුට ඒ සදහා කොමිසම ඉඩකඩ ලබා දී තිබෙනවා.
කොළඹ, උතුර පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී එච් ජී නෙරංජල අබේවර්ධන මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අද (14) දිනයේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් කිසිදු පූර්ව නිවේදනයක් නොලැබුණ බවත් එවැනි දැනුම් දීමක් සිදුවූයේ නම් ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බවත් නෙරංජල අබේවර්ධන මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ දෙමටගොඩ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම් ඩී අනිල් ජයන්ත මහතා ද අද (14) සාක්ෂි ලබා දුන්නා. ඔහු ඒ වන විට වැල්ලම්පිටිය පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයා ලෙසයි සේවය කරමින් සිටියේ. මහවිල උද්‍යානය හා වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාව පිළිබද ඔහුගෙන් විමසීම් කර සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.
මේ අතර අද (14) පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු තමන්ට කොමිසම හමුවේ රහසිගතව සාක්ෂි ලබා දීමට අවස්ථාව සලසා දෙන ලෙස පරික්ෂණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණා. එම ඉල්ලීම සැළකිල්ලට ගනිමින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම එම පුද්ගලයාට රහසිගතව සාක්ෂි ලබා දීමට අවස්ථාව උදාකර දුන්නා. එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යය ඉඩකඩ සලසා දී තිබුණේ නැහැ.
මේ අතර ඊයේ (13) දිනයේ දී සාක්ෂි ලබාදුන් පොලිස් නිලධාරීන් කොමිසම හමුවේ පවසා තිබුණේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ ලිපි පොලිස් ස්ථාන වෙත ලැබී නොතිබුණු බවයි. කොළඹ උතුරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික සහකාර නිලධාරී, පොලිස් අධිකාරී උපේන්ද්‍ර නමැති නිලධාරියාගෙන් සිදුවූ අතපසුවීමක් ඊට තුඩු දී ඇති බව ද එහිදී සදහන් කෙරුණා.