පැහැරගැනීමට හා ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව අද (13) පස්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. අනතුරුව අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සදහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට රැගෙන යාමට නියමිතයි.
පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තිය ඊයේ (12) රාත්‍රී හත පමණ වන තෙක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදුන්නා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (12) වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළා. මෙහිදී ඇයට අදාළව පනවා ඇති විදෙස් ගමන් තහනම දෙසැම්බර් 17 වනදා දක්වා දීර්ඝ කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.
අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ ජනක බණ්ඩාර මහතා සදහන් කළේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබද වාර්තාවක් ලබාගැනීම සදහා මානසික වෛද්‍ය මඩුල්ලකට යොමු කිරීම රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය නිර්ණය කර ඇති බවයි. ඒ හේතුවෙන් ඊට අදාළ නියෝගයක් ලබාදෙන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් අධිකරණය පැහැරගැනීමට ලක්වූ බව කියන මෙම කාන්තාවගේ මානසික සෞඛ්‍ය පිළිබද වාර්තාවක් ලබාගැනීම සදහා යොමුකරන ලෙසට නියෝගයක් නිකුත් කළා. එමෙන්ම ගානියා බැනිස්ටර් ෆ්රැන්සිස්ගේ ප්‍රකාශ සටහන්කර ගැනීම තවමත් අවසන්වී නොමැති හෙයින් මේ සම්බන්ධයෙන් පරිපූර්ණ කරුණු දැක්වීමක් සිදුකිරීමට මේ වනවිට නොහැකි බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරයා අධිකරණය හමුවේ කියාසිටියා.
මෙහිදී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණයට පැවසුවේ තම සේවාදායිකාව අයහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබාදීමට ඇයට හැකියාවක් නොමැති බවයි. මේ හේතුවෙන් තම සේවා දායිකාවට ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේදී ප්‍රකාශ ලබාදීමට ඉඩ ලබාදෙන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලා සිටියා. මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ එම දෙපාර්තමේන්තුවේ මූලස්ථානයකට හැර වෙනස් ස්ථානයකදී ඇයගෙන් ප්‍රකාශ සටහන්කර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි.
ඇය සුලු අසනීප තත්ත්වයකින් පසුවන බවට නීතීඥවරුන් අධිකරණයට කරුණු වාර්තා කළද එම තැනැත්තිය අංශභාග රෝගී තත්ත්වයකින් පෙළෙන හෝ පාදයක් අකර්මණ්‍ය වී ඇති රෝගයක් නොවන බැවින් ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමේ අපහසුතාවයක් තිබිය නොහැකි බව මහේස්ත්‍රාත්වරිය මෙහිදී පෙන්වා දුන්නා. එමෙන්ම විදේශීය තානාපතිවරයෙකුගේ නිල නිවසක් මෙරට නීතියට අදාළවනු ඇත්දැයි යන්න විමසීමේ දී එහි නීතිමය තත්ත්වය වෙනස්විය හැකි බවද මහේස්ත්‍රාත්වරිය සදහන් කළා. මෙහිදී අධිකරණය හමුවේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකරමින් ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තියගේ නීතීඥවරුන් සදහන්කර සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශනවලට අගතියක් සිදුවන ආකාරයේ ප්‍රකාශ මෙන්ම නඩුවට පෙනීසිටින නීතීඥවරුන්ට තර්ජනය කිරීම් සහ බියවැද්දීම් මාධ්‍ය හරහා විකාශය වන බවයි.
එබැවින් අදාළ නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ විකාශයවන ප්‍රකාශ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ලබාදෙන්නැයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. අපරාධ පරීක්ෂණයකදී ඊට බාධාවන පරිදි හැසිරීම් සම්බන්ධයෙන් හෝ නීතීඥ වෘත්තියට බලපෑම් එල්ලවන ආකාරයෙන් කිසියම් පුද්ගලයෙකු සිදුකළ ප්‍රකාශ පිළිබදව නිශ්චිත තොරතුරු ඇත්නම් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙහිදී ප්‍රකාශ කළා.
මෙම සිද්ධියට අදාළ නඩුව ලබන 17 වනදා යළි කැදවීමට මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළා. මේ අතර ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තියගේ මානසික සෞඛ්‍ය පිළිබද වාර්තාවක් ලබාගැනීම සදහා අදාළ කාන්තාව අද (13) දිනයේ දී ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට රැගෙන යාමට නියමිතයි.