පැහැරගැනීමට හා ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව විශේෂඥ මනෝවෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කළා. ප්‍රකාශ සටහන් කර ගැනීම සදහා ඇය හතරවන දිනටත් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඇයගේ විදෙස් ගමන් තහනම පිළිබද නඩු විභාගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද පැවැත්වුණා.
සැකකාර කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව ලබන 17 වනදා දක්වා විදේශගතවීම තවදුරටත් වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් ලබාදුන්නා. ඇයගෙන් ප්‍රකාශ ලබාගැනීම තවමත් අවසන්වී නැති බවයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේ. මෙම කාන්තාව සම්බන්ධයෙන් සිදුකරන අධිකරණ වෛද්‍ය පරීක්ෂණවල වාර්තා විමර්ශන කටයුතු සදහා යොදාගන්නා බවද ඔහු කියාසිටියා. එමෙන්ම ඇය අධිකරණ මනෝ වෛද්‍යවරුන්ගෙන් සැදුම් ලත් වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා.
මෙම කාන්තාවගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීම ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේ සිදුකරන ලෙසට ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළා. වෙනත් රටක තානාපති කාර්යාලයක් සදහා මෙරට නීතිය අදාළවීම ගැටලු සහගත බවයි මහේස්ත්‍රාත්වරිය කියාසිටියේ. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නඩු විභාගය ලබන 17 වනදා කැදවන ලෙස නියෝග කළා. එමෙන්ම ඇය හෙට දිනයේ ද අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බවයි රහස් පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ.
ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති මෙම කාන්තාව අද පෙරවරු නවයට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ ඇය පැහැරගැනීමට හා ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහායි.
පැහැර ගැනීමට හා ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන මෙම කාන්තාව සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් ප්‍රකාශ කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/1HGcJx9fQ_E”]