fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උඳුවප් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වැඩසටහන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2019 08:56

උඳුවප් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වැඩසටහන්

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම කරවීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි. සිරිපා වන්දනා සමය ද මෙම පොහොය දිනයෙන් ආරම්භ වනවා.

ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීම උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී සිදුවුණා. සංඝමිත්තා තෙරණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේ පෙරටුකර ගනිමින් අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පැවිදිකරවා මෙරට භික්ෂුණී ශාසනාය පිහිටුවීම ද සිදුවුණේ මෙම උතුම් පොහොය දිනයේයි.

සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට බෙහෙවින් වැදගත් වූ උඳුවප්පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධානකර තිබෙනවා. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් පැවැත්වෙන එම වැඩසටහන්වලට සැදැහැවතුන් විශාල වශයෙන් එක්ව සිටින අයුරු දැකගත හැකිවූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ස්වාධීන රූපවාහිනිය සෑම පොහෝ දිනකම විකාශය කරන සවණක් රැස් වැඩසටහන මෙවර ගෙන එනු ලබන්නේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස සිටයි. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරි නිවාස ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම කටයුතු සංවිධානකර තිබෙනවා. අද පස්වරුවේ විශේෂ ආශිර්වාද පූජාවක් ද පැවැත්වෙනවා.නව වසරට සෙත්පතා පවත්වන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව රාත්‍රී 9.30 ට ආරම්භවීමට නියමිතයි. එය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර ITN FM සෑම පොහෝ දිනකම සංවිධාන කරන ශාසනාලෝක වැඩසටහනද මෙවර පැවැත්වෙන්නේ ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදීයි. පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමීන් වහන්සේ වෙත ධර්ම ග්‍රන්ථ පූජා කිරීම මෙන්ම එම ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්ට උපහාර පිරිනැමීමද මෙහිදී සිදුවුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2019 08:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්