මහකොමසාරිස්වරුන් කිහිප දෙනෙකු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද හමුවුණා. ඒ අරලියගහ මන්දිරයේදීයි.
නවසීලන්ත මහකොමසාරිස් ජොආනා කෙම්කර්ස් මහත්මිය,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. කිරි ආශ්රිත නිෂ්පාදන හා පශු සම්පත් පිළිබඳ දීර්ඝකාලීන සහයෝගීතාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ව්‍යාපාර සංවර්ධනය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණු අතර ඕනෑම ක්ෂේත්රයක් ඔස්සේ ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම් බවයි නවසීලන්ත මහකොමසාරිස්වරිය මෙහිදී ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ද අද සිදුවුණා. වෙළෙඳ හා ආයෝජන, අධ්‍යාපනය මෙන්ම සහජීවනය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබෙනවා. කැනඩාව මෙරට තුළ විශාල වශයෙන් ආයෝජන සිදුකර ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් එම කටයුතු පුළුල් කරන ලෙස මෙහිදී පැවසුවා.
බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හම්දුල්ලා මහතා ද අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණේ අරලියගහ මන්දිරයේදීයි. එහිදී වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කෙරුණා. බංග්ලාදේශ මහකොමසාරිස්වරයා මෙහිදී එරට අගමැතිනි ෂෙයික් හෂීනා මහත්මිය යොමු කළ ලිපියක් ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන්නා. ලිපිය මගින් අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් පිරිනමා ඇති බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය තම රටේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ද ආරාධනා කර තිබෙනවා.