fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 08:56

මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වුණා. ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 57 වන වියේ පසුවුණා.

1962 වර්ෂයේදී ගොඩකවෙල අල්පිටිය ප්‍රදේශයේ දී  උපත ලැබූ රංජිත් සොයිසා මහතා අල්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සහ ගොඩකවෙල රාහුල ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා. කෘෂිකර්ම ඩිප්ලෝමාධාරියෙකු වන ඒ මහතා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 1997 වසරේදීයි. ඒ අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසයි. පසුව ඔහු සබරගමුව පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙසද එම පළාතට සුවිශාල සේවාවක් සිදු කළා.

අනතුරුව 2010 මහ මැතිවරණයෙන් ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වනවා. ඒ රක්වාන මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින්. 2015 මහ මැතිවරණයෙන්ද දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් රංජිත් සොයිසා මහතා දෙවන වරටත් පාර්ලිමේන්තුවට තේරි පත් වුණා. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින්. 2015 වර්ෂයේ සිදු වූ දේශපාලන වෙනස සමඟින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායකරවයා ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ඒ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කළා. සිංගප්පූරු රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේයි ඒ මහතා අභාවප්‍රාප්ත වුණේ.

දෙදරු පියෙකු වූ ඒ මහතාගේ දේහය අද දිනයේදී දිවයිනට රැගෙන ඒමට නියමිතයි. පාර්ලිමේන්තු සංකීර්ණයටද රැගෙන ඒමෙන් පසුව ගොඩකවෙල මස්ඉඹුල පිහිටි ඒ මහතාගේ නිවසේ දේහය තැන්පත් කිරිමට කටයුතු යොදා තිබෙනවා. රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 08:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්