අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ නව චුඩා මාණික්‍ය සහිත කොත නිරාවරණය කිරීමේ පුන්යෝත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. මල්වතු පාර්ශ්වයේ අනිනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේයි කොත නිරාවරණය කෙරුණේ.
රුවන්වැලි මහසෑය අවසන් වරට ප්‍රතිසංස්කරණය කොට චූඩා මාණික්‍යය පැළඳවීම සිදු කෙරුණේ 1939 වසරේයි. එම චූඩා මාණික්‍ය පළුඳුවීම හේතුවෙන් රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය නිර්මාණය කෙරුණා. මෙරට ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් වසර 80කට පසු ඓතිහාසික රුවන්වැලි මහසෑරඳුන්ට පැළඳ වූ නව චූඩා මාණික්‍ය සහිත කොත නිරාවරණය කිරීම සදැහැවතුන් අතිවිශාල පිරිසකගේ සාධු නාද මධ්‍යයේ සිදු කෙරුණා.
මල්වතු පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි , අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස , රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන යන ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කළා. රොක් ක්‍රිස්ටල් නමැති දුර්ලභ පාෂාණයකින් අලංකාරවත් කැටයම් සහිතව මෙම චූඩා මාණික්‍ය නිමකර තිබෙනවා. චුඩා මාණික්‍යයේ පාදම නිර්මාණය කර ඇත්තේ රත්රන් යොදා ගනිමින්. ස්වභාවික නිල් සහ රතු මැණික් ඇතුලු මැණිල් ගල් පන්දහස් තුන්සිය විස්සක් යොදාගෙන නිම වූ මේ සදහා පිරිසිදු රත්රන් කිලෝග්‍රෑම් 28 කට වැඩි ප්‍රමාණයක් යොදා ගැනුණා. නව චූඩා මාණික්‍ය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී සහ කුරුණෑගල ඇත්කඳ විහාරයේදී ජනතාවට වැඳ පුදා ගැනීමට හැකිවුණා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=ZWjW7l1Cr88&feature=youtu.be&fbclid=IwAR2I_oCdy0S9qEk1TjguPTjUMIJgynS_CHfwehkI5dqEXLDfZO6J1Ukq8Eg”]