ඇමෙරිකා රාජ්ය ලේකම් සහ යුරෝපා සංගමය ඇතුලු විදෙස් නායකයින් සහ ආයතන රැසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සුබ පැතුම් එක්කර තිබෙනවා.
ඇමෙරිකා රාජ්ය ලේකම් මයික් පොම්පියෝ මහතා ද සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ නව ජනාධිපතිතුමාට තම රජයේ පූර්ණ සහාය ලබා දෙන බවයි. ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට ජනාධිපතිතුමාට ඕනෑම සහයෝගයක් ලබා දීමට පසුබට නොවන බව ද එම සුබ පැතුම් පණිවුඩයේ සඳහන්. යුරෝපා සංගමය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සුබ පැතුම් එක්කර තිබෙනවා. නව ජනාධිපතිතුමා සමග සමීපව කටයුතු කිරීමට යුරෝපා සංගමය බලාපොරොත්තු වන බවයි එම සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ජපාන අග්රාමාත්ය ෂින්සෝ අබේ මහතා ජනාධිපතිතුමාගේ සුවිශේෂී ජයග්රහණයට උණුසුම් සුබ පැතුම් එක් කරන බවයි සඳහන් කර ඇත්තේ.
ප්රජාතන්ත්රවාදී මැතිවරණයක් සඳහා පෙළ ගැසුණු ශ්රී ලංකා ජනතාවටත් තම ගෞරවය පුද කරන බව පවසන ජපාන අග්රාමාත්යවරයා ශ්රී ලංකා නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තම පූර්ණ සහයෝගය ලබා දෙන බව ද එම සුබ පැතුම් පණිවුඩයෙන් අවධාරණය කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්රහණය තුළින් ශ්රී ලංකාව හා පාකිස්තානය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මහතා පවසනවා. එම සබඳතා පුළුල් කරමින් සාමකාමී වාතාවරණයක් ගොඩනැගීමට සහයෝගයෙන් කටයුතු කිරීමට ඉඩකඩ සැලසී ඇති බවයි පාකිස්තාන අග්රාමාත්යවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයෙන් අවධාරණය කර ඇත්තේ.
නේපාල අග්රාමාත්ය කේ පි ශර්මා ඔලි මහතා ද සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ දෙරට අතර ඓතිහාසික සබඳතා ශක්තිමත් කර ගනිමින් සමීපව කටයුතු කිරීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පත්වීම බෙහෙවින් උපකාරී වන බවයි.