රටහදන මෙහෙයුමේ නියමුවාණන්ගේ ගමන් මග
Related Articles
ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමේ උත්සවය හෙට පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි සෑරදුන් අභියසදී පැවැත්වෙනවා. එම උත්සවය ITN ඔස්සේද සජීව ලෙස විකාශය කෙරෙනවා.
නන්දසේන ගෝඨාභය රාජපක්ෂයන් මාතර පාලටුවේදී මෙලොව එළිය දකින්නේ 1949 ජුනි 20 වනදායි. දකුණේ කීර්තිමත් දේශපාලනඥයකු වූ ඩී.ඒ රාජපක්ෂ මහතාට සහ දන්දිනා සමරසිංහ දිසානායක මහත්මියට දාව උපන් ඔහු හැදී වැඩෙන්නේ වීරකැටිය මැදමුලන ග්‍රාමයේයි. ඒ චමල් , මහින්ද , බැසිල් , ගාන්ධිනී , චන්ද්‍රා ආදී සොයුරු සොයුරියන් ඇසුරේයි. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ගෝඨාභය රාජපක්ෂ කැඩේට් නිලධාරියකු ලෙස යුද හමුදාවට බැදෙන්නේ 1971 වසරේදීයී. රට දැය වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කරන ඔහු ගජබා රෙජිමේන්තුව සිය හමුදා නිවහන කරගනිමින් මව්බිම අනතුරින් ගලවා ගැනීමේ මෙහෙවරට එක්වන්නේ රණවික්‍රම , රණශූර ආදී පදක්කම්ද හිමිකර ගනිමින්. දෙවන ලුතිනන්වරයකු ලෙස රාජකාරී අරඹන ඔහු ජනපතිවරුන් තුන් දෙනකු අතින් එනම් ජේ.ආර්.ජයවර්ධන , රණසිංහ ප්‍රේමදාස හා ඩී.බී විජේතුංග යන ජනපතිවරුන් අතින් නිර්භීතකම වෙනුවෙන් සම්මාන හිමිකර ගන්නවා.
ක්‍රමයෙන් හමුදාවේ ඉහළ තනතුරු දක්වා ගමන් කළ මෙතුමා යුද මෙහෙයුම්වලට අණදෙමින් ලුතිනන් කර්නල් පදවියට පත්වනවා. කොතලාවල ආරක්ෂක විශ්විද්‍යාලයේ ආඥාපති පදවියටද පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතා 1992 වසරේදී යුද හමුදාවෙන් විශ්‍රාම ලබන්නේ මව්බිම වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කිරීමෙන් අනතුරුවයි. ඔහු 2005 වසරේදී සිය සොයුරු මහින්ද රාජපක්ෂයන් මෙරට ජනාධිපති ධුරයට පත් වීමත් සමඟ ආරක්ෂක ලේකම් ලෙස පත් වන්නේ ත්‍රස්තවාදය උච්චතම අවස්ථාවකට පැමිණ සිටියදයී. 2009 වසරේදී කොටි ත්‍රස්තවාදීන් පරාජයට පත් කරමින් තිස් වසරක යුද්ධය නිමකරලීමට මහින්ද රාජපක්ෂ මහතා සමඟ විශාල කාර්යභාරයක් ඔහු ඉටු කරන්නේ මව්බිමට තිළිණ කර දිය යුතු වටිනාම ත්‍යාගය වන සාමය උදාකරමින්. එම ගමන ඔහුට සුවපහසු මාවතක් වූයේ නැහැ. විපක්ෂය මෙන්ම විදේශයන්හි කෙනෙහිලිකම් මධ්‍යයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ මූලික ඉලක්කයක් බවට පත්වූ ඔහු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයකට පවා මුහුණ දුන්නා. 2006 වසරේ දෙසැම්බර් පළමු වනදා කොල්ලුපිටියේදී එල්ටිටීඊ ත්‍රස්තවාදීන් පුපුරුවාහැරි එම බෝම්බයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවි ගැලවුණේ අනූ නවයෙන්. ත්‍රස්තවාදය අවසන් කිරීමට යුද වීරයකු ලෙස ලබා දුන් විශිෂ්ඨ කැපවීම අගයමින් ඔහුට කොළඹ විශ්වවිද්‍යාලය මඟින් ඔහුට ආචාර්ය ගෞරව උපාධියක්ද පිරිනැමුවා. යුද ජයග්‍රහණයෙන් පසුව එල්ටීටීඊය සහ ඩයස්පෝරාව මව්බිමට සහ රණවිරුවන්ට එරෙහිව ගෙන ගිය යුද අපරාධ චෝදනා මධ්‍යයේ නොසැලී සිටිමින් ඊට සාර්ථකව මුහුණදීමට ගෝඨාභය රාජපක්ෂයන් දැඩි කැපවීමක් සිදු කළා. නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසද ඔහු ඉටුකළ මෙහෙවර ඉමහත්. මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණෙන් ඔහු ඉදිරිපත් වුණේ රට අනතුරෙන් ගලවා ගන්නා ලෙස ගිහි පැවදි බොහෝ දෙනා සිදු කළ ඉල්ලීම් සළකා බලමින්. ඊට මුහුණ දී අති විශිෂ්ඨ ජයක් ලබා ශ්‍රී ලංකාවේ 07 වන ජනාධිපති ලෙස ඔහු පත් වන්නේ බොහෝ දෙනාගේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින්. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමුවාසේ මව්බිම සෞභාග්‍ය කරා රැගෙන යාමට එතුමාට හැකිවේවායි ස්වාධීන රූපවාහිනියේ අපිද සුබපැතුම් එක්කරමු.