ප්‍රධාන කරුණු හතරක් ඇතුළු තවත් කරුණු කිහිපයක් සදහා ජනතාව හමුවේ පිළිතුරු ලබාදෙන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අභියෝග කර සිටිනවා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමිනුයි එම අභියෝගය කර ඇත්තේ.
ජනතාව බිය ගන්වන විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයකට අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ ද ඇදගෙන යාමට විපක්ෂනායකවරයා ගත් උත්සාහය තරයේ හෙළා දකින බවයි එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ. ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදා හැරීමටත්, භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත් තමන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ප්‍රතිඥාවක් ලබා දී ඇති බව ද පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් තමන්ට සැගවීමට කිසිවක් නැති බවද එම ලිපියේ සදහන් කර තිබෙනවා. නමුත් නිමක් නැති ජනවාර්ගික ගැටුම්වලින් සිදු වූ විනාශය දුටු පරිණතභාවයෙන් යුතු දේශපාලන නායකයෙකු බලය වෙනුවෙන් ජනතාව බෙදීමට හා භීතිය වැපිරීමට කටයුතු කරන්නේ කෙසේදැයි සිතා ගැනීමට නොහැකියි.
ගෝඨාභය රාපක්ෂ මහතාට විවාදයකට මුහුණ දීමට හෝ වැදගත් ප්‍රශ්නයකට මුහුණ දීමට ධෛර්යය නොමැති බැවින් ජාතික අතින් අතිශය වැදගත් පහත ප්‍රශ්නවලට ඔබ විසින් හෝ පිළිතුරු දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයාට යැවූ එම ලිපියේ සදහන් කර තිබෙනවා.
බන්ධනාගාරගතව සිටින උතුරු පළාත් මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සමග ඇති කර ගත් රහස් ගණුදෙනුව, ඊළාම් කොඩිය ඔසවා ඊළම ප්‍රකාශ කළ වර්දරාජා පෙරුමාල් සමග ඇති කර ගත් රහස් ගණුදෙනුව, හිටපු අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සමග ඇති කර ගත් රහස් ගණුදෙනුව සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ එච් එම් හිස්බුල්ලා සමග ඇති කර ගත් රහස් ගණුදෙනුව කුමක්ද යන්න ජනතාව හමුවේ වහාම හෙළි කළ යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා එම ලිපියෙන් අභියෝග කර ඇත්තේ.