දිවයිනේ පළාත් රැසකට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 7060 ක් ආපදාවට ලක්ව සිටින බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය සදහන් කරනවා. දින ගණනාවක් තිස්සේ නොකඩවා ඇද හැලෙන අධික වර්ෂව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ආපදාවට ලක්ව සිටිනවා. මාර්ග සහ නිවාස ජලයෙන් යට වී තිබෙනවා. පවුල් 7060 ක පුද්ගලයින් 25714 දෙනෙකු ආපදාවට පත්ව සිටින බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය තවදුරටත් සදහන් කරන්නේ. තිල්අඩිය, රත්මල්යාය සහ අල්කාසිම් සිටි යන ප්‍රදේශවල මාර්ග සහ නිවාස රැසක් ද ජලයෙන් යට වී තිබෙනවා.
මේ අතර අම්බලන්ගොඩ අකුරල සිට කහව, ගොඩගම, තෙල්වත්ත හරහා හික්කඩුව දක්වා ප්‍රදේශයේ මුහුදු රළ ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය වෙත ඇදී ඒම නිසා ගමනාගමනයට බාධා එල්ල වුණා. මෙම තත්ත්වය දැක බලා ගැනීමට ජනතාව එම මාර්ගයට එක්ව සිටින ආකාරයද දැකගත හැකි වුණා. රාත්‍රී කාලයේදී මෙම උදම් රළ තත්ත්වය තවත් වැඩිවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
අධික වර්ෂාව හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වුණා. ඌරපොළ,විටියල,නාරංගල ඇතුළු ප්‍රදේශවල කුඹුරු යටවීම හේතුවෙන් වී වගාවටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. නිල්වලා නිම්නයේ පහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ අගයක් ගෙන ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මධ්‍යම කදුකරයේ නැගෙනහිර ප්‍රදේශවලට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමග ගුරුගල් ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ගලහ, නව නැලිය මාර්ගයට පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් මාර්ගය මුළුමනින්ම අවහිර වුණා. රථවාහන ගමනාගමනයද මේ හේතුවෙන් සීමා කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=wjn5iCzwgd4″]