පෙරවස් එළඹුණු භික්ෂූන් වහන්සේ කුසල්දම්පුරා තෙමසකින් වස් පවාරණය කරන වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි. ඒ වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම පාහේ ආගමික වතාවත් සිදුකෙරුණා.
තව්තිසා දෙව්ලොව වස් විසූ මාතෘ දිව්‍යරාජයාණන් වහන්සේට ධර්මය දේශනා කර රන් ඉණිමඟක් මතින් පෙළහර පා දඹදිව සංකස්සපුරට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ ද බුද්ධත්වයෙන් සත්වසක් ගෙවුණු අද වැනි දිනකයි. සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතුරින් අග තනතුරට පත්වූයේ ද වප් පොහොය දිනයේ බව ශාසන ඉතිහාසයේ සඳහන්. චීවර මාසය එළඹෙන්නේ ද වප් පුර පොහොය දිනයෙනුයි. මෙසේ බෞද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වටිනා සිදුවීම් රැසකට දායක වූ වප් පොහොය සමරමින් දිවයින පුරා වෙහෙර විහාස්ථානවල අද ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙනවා.
සෑම පුන් පොහෝ දිනකම ITN රූපවාහිනිය ගෙන එන සවණක් රැස් වැඩසටහන මෙවර ගෙන එනු ලබන්නේ පානදුර වලාන සිරි සිද්ධත්ථාරාම මහා විහාරයේ සිටයි. විහාරාධිපති පූජ්‍ය මොරපිටියේ කස්සප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත එම කටයුතු සිදු කෙරෙනවා. ධර්ම සාකච්ඡා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රැසක් අද දවස පුරා විකාශය කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
මේ අතර ITN FM සෑම පොහෝ දිනකම පවත්වන ශාසනාලෝක වැඩසටහන ද පානදුර වලාන සිරි සිද්ධත්ථාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙනවා. එහිදී සාමණේර භික්ෂූන් වහන්සේ වෙත ධර්ම ග්රන්ථ කට්ටල පිරිනැමීම සහ උන් වහන්සේ ශාසනයට පූජා කළ දෙමව්පියන්ට උපහාර දැක්වීම ද මෙහිදී සිදු කෙරුණා.