කටාන දිසාගේවත්ත ප්රදේශයේදී පුද්ගලයන් පිරිසක් සිදු කළ පහරදීමකින් පුද්ගලයකු මිය ගොස් තිබෙනවා. එම සිද්ධියට අදාළ සැකකරුවන් තුන් දෙනෙකු කටාන පොලීසිය අත්අඩංගුවට ගත්තා.
කටාන දිසාගේවත්ත ප්රදේශයේදී නිවසක් ඉදිරිපිටදී පිරිමි පුද්ගලයකුට සහ කාන්තාවකට පහර දීම සිදු කර ඇත්තේ පුද්ගලයින් 04 දෙනෙකු එක්වයි. ඔවුන් පොලු වලින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා සහ කාන්තාව මිගමුව රෝහලට ඇතුලත් කෙරුණා. එහිදී පිරිමි පුද්ගලයා මියගිය බවයි රෝහල් වාර්තා සඳහන් කළේ. මෙලෙස මිය ගොස් ඇත්තේ පනස් දෙහැවිරිදි ශාන්ත ආනාමාවත කලුවාරිප්පුව ප්රදේශයේ පදංචි පුද්ගලයකුයි. දෙපිරිසක් අතර ඇති වූ ආරව්ලක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත්තා. තවත් සැකකරුවකු සොයා පරීක්ෂණ ක්රියාත්මකයි. සැකකරුවන් මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.