ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක්දින ක්රිකට් තරගය හෙට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව පාකිස්තාන ක්රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් හෙට ආරම්භවනු ඇති බවයි පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆ්රාස් අහ්මඩ් ප්රකාශ කර සිටියේ.
ශ්රී ලංකාවට එරෙහි එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන කණ්ඩායමේ නායකයා සදහන් කළේ එක්දින ක්රිකට් තරගාවලියකදී සිය රටේ ප්රේක්ෂකයින් ඉදිරියේ පාකිස්තාන කණ්ඩායම මෙහෙයවීමට ලැබිම සිය ක්රිකට් දිවියේ සුවිශේෂි කඩඉමක් බවයි. දෙරට අතර පැවැත්වෙන තරගාවලිය නැරඹිමට පැමිණ කණ්ඩායම් දෙකට සහාය පළ කරන ලෙසයි එරට ප්රේක්ෂකයින් වැඩිදුරටත් ඉල්ලා සිටියේ. 2015 වසරෙන් පසු පාකිස්තානයේදී එක්දින ක්රිකට් තරගාවලියක් හෙට ආරම්භවන්නේ පළමු වරටයි. එම වසරේදී සිම්බාබ්වේ කණ්ඩායම පාකිස්තානයේදී එක්දින තරගාවලියකට එක්වු අතර අනතුරුව ශ්රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම් එරටදී විස්සයි විස්ස තරග සදහා සහභාගිවී තිබුණා.ඒ හැරුණු විට කිසිදු කණ්ඩායමක් ආරක්ෂක ගැටලු හේතුවෙන් 2009 වසරෙන් පසු මෙතෙක් පාකිස්තානයේ තරග සංචාරයක නිරත වී නැහැ. ශ්රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලියේ සියලු තරග කරච්චි නුවරදී පැවැත්විමට නියමිතයි. මේ අතර කරිච්චි ජාතික ක්රිකට් ක්රිඩංගනයේ සිට කිලෝමිටර තුනක පමණ ප්රදේශයක ආරක්ෂක කලාපයක් ලෙස වෙන් කිරිමට පාකිස්තාන ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. එම කලාපය තුළ ආරක්ෂක නිළධාරින් තුන්දහසකට අධික පිරිසක් ස්ථානගත කර ක්රිඩාංගනයේ සිට මිටර් 500ක් දක්වා වාහන ධාවනය අත්හිටුවීමට ද තීරණය කර තිබෙනවා.