fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හතලිස් පන්දහසක් ආපදාවට – විපතට පත්වූවන්ට කඩිනම් සහන

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 19:09

හතලිස් පන්දහසක් ආපදාවට – විපතට පත්වූවන්ට කඩිනම් සහන

දිවයිනේ පළාත් රැසකට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පවුල් එකොළොස්දහස් තුන්සිය අසූහතකට අයත් පුද්ගලයින් හතලිස්පන්දහස් අනූ දෙනෙකුට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ට සහන ලබාදීමේ වැඩපිළිවෙළ මේ වනවිටත් දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර තිබෙනවා. මෙම අයහපත් කාලගුණික තත්ත්වය හෙට රාත්‍රිය දක්වා පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ප්‍රදේශ කිහිපයකට නිකුත්කර ඇති නායයාමේ රතු නිවේදන ද තවදුරටත් බලපැවැත්වෙනවා.

ගාල්ල,  මාතර,  කළුතර,  ගම්පහ ඇතුළු දිස්ත්‍රික් කිහිපයකට තවදුරටත් අධික වර්ෂාපතනයක් ලැබෙමින් තිබෙනවා. දිස්ත්‍රික් රැසක පහත් බිම් ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ සහ බද්දේගම ප්‍රදේශ ජලයෙන් යටව පවතිනවා. ගාල්ල අක්මීමන ගනේගොඩ ශ්‍රී විමලවංශාරාම විහාරස්ථානය ආසන්න ප්‍රදේශයේ කොටසක් නායයාමකට ලක්වුණා. ගාල්ල මාපලගම,  මාපලගම ඇල්පිටිය,  උඩුගම කොළඹ ඇතුලු මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.

පීඩාවට පත්වූන්ට සහන සැලසීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා පවසනවා.

මාතර දිස්ත්‍රික්කයේ ද කඹුරුපිටිය ඇතුළු පහත් බිම් කිහිපයක් ද ජලයෙන් යටව පවතිනවා. නිල්වලා ගග සහ කිරමආර ඔය පිටාර ගැලීම හේතුවෙන් මාලිම්බඩ, තිහගොඩ, කඹුරුපිටිය, අතුරලිය, අකුරැස්ස යන ප්‍රදේශ ජලයෙන් යටව පවතිනවා. නිල්වලා ගංගාවේ තොටමුණ ප්‍රදේශයේ මෝය පුලුල්කර වැසි ජලය මුහුදට මුදා හැරීමට කටයුතු කෙරෙනවා. මාතර දිස්ත්‍රික්කයේද මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා. කඹුරුපිටිය ලේනබටුව වැව වාන් දමමින් පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 ක පවුල් 826 ක් පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රකාශ කළා.

අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් දකුණු පළාතේ ජනතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කුකුළේ ගග ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. කළු ගගේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බවයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. අලුත්ගම, කළුවාමෝදර මෙන්ම කන්දෙවිහාර පූජා භූමිය අවට මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා.

කළුතර බෝධියේ ඉහළ මළුවේ පැති බැම්ම කඩාවැටීමට ලක්වීම හේතුවෙන් පහළ මලුවේ තිබූ බුදු මැදුරට හානි සිදුවුණා.

කැලණි ගගේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග කොලොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව පවතිනවා.

අධික වැසි හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගවේ වැලිපැන්න සහ කොක්මාදූ පිටවීමේ මාර්ග ජලයෙන් යටව පවතිනවා. විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි  රියදුරන් දැනුවත් කෙරෙන්නේ. අධිවේගී මාර්ගයේ වේගසීමා ද පැයට කිලෝමීටර් 60 දක්වා අඩු කර තිබෙනවා.

මේ අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පැය තුනකට පමණ පෙර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස පාලනාධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 19:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්