fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසැල් කිහිපයක නව ගොඩනැගිලි කිහිපයක් ජනපති අතින් සිසු අයිතියට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 18:14

පාසැල් කිහිපයක නව ගොඩනැගිලි කිහිපයක් ජනපති අතින් සිසු අයිතියට

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වැය නොකළ මුදලක් තමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව වැය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොළොන්නරුව කෝට්ටපිටිය සෑගල මහා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.

පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් පොළොන්නරුව කෝට්ටපිටිය සෑගල මහා විද්‍යාලයේ ඉදිකළ විද්‍යාගාරය,ගෘහ විද්‍යාගාරය සහිත පන්ති කාමර හතරකින් යුත් ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබුවා. රුපියල් ලක්ෂ හැත්තෑ තුනක වියදමින් ඉදිකළ ගොඩනැගිල්ලේ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා එය සිසු අයිතියට පත් කළා. අනතුරුව සිසුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිතුමා අමතක කළේ නැහැ.

මේ අතර පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණ පෙරදැරිව රුපියල් ලක්ෂ 29 ක වියදමින් නවීකරණය කළ ඇලහැර කහටගහපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රධාන ශාලාව ඇතුළු බහුකාර්ය ගොඩනැගිල්ල ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරුණා. අනතුරුව කලාපයේ පාසල් දරුවන්ට පාසල් උපකරණ ප්‍රදානය,පුස්තකාල සදහා පොත් ප්‍රදානය සහ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස හිමිකම් සංකේතවත් කරමින් ප්‍රදානය කිරීමද සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්.

එමෙන්ම ඇළහැර ඇළ,රදවිගෙයඔය කණිෂ්ඨ විද්‍යාලයේ නවීකරණය කෙරුණු පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවටද ජනාධිපතිතුමා එක් වුනා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් නවීකරණය කළ මෙම පන්ති කාමර ගොඩනැගිල්ල වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 42 ක්. ඇළහැර ඇළ, නිකපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ රුපියල් මිලියන 9 යි දශම 5 යි 2 ක  ක වියදමින් ඉදිකෙරුණු පන්ති කාමර අටකින් යුත් නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ද ජනාධිපතිතුමා එක් වුණා. අනතුරුව ජනාධිපතිතුමා සහභාගී වූයේ සෑගල විහාරස්ථානයේ පැවති රන්ගෙවිලිය වැඩසටහන සදහායි. කාබනික වගාව සදහා ගෙවිලියන් දිරිගැන්වීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය හරහා මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා. රුපියල් ලක්ෂ 44 ක වියදමින් ඇළහැර කොට්ඨාසයේ ගෙවිලියන් 200 ක් සදහා නොමිලේ කෘෂි උපකරණ බෙදාදීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් ප්‍රදානයන් සිදු කෙරුනා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 18:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්