fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෙළුම් කුළුණ හෙට ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 09:11

නෙළුම් කුළුණ හෙට ජනතා අයිතියට

දකුණු ආසියාවේ  උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට හෙට පත් කෙරෙනවා.

මීටර් 350 ක් උස මෙම කුළුණේ ඉදිකිරීම් සදහා වැය කෙරුණ මුදල ඇමෙරිකා ඩොලර්  මිලියන 104.3 ක්.කොළඹ ඩී.ආර් වජයවර්ධන මාවතේ හෙක්ටාර 3.6 ක භූමි ප්‍රදේශයකයි   ව්‍යාපෘතිය නිම කර ඇත්තේ. නෙළුම් කුළුණ ප්‍රංශයේ අයිෆල් කුළුණට වඩා මීටර් 50 ක් උසින් යුක්තයි.  චීන එක්සිම් බැංකුව‍ ඒ සදහා අරමුදල් සපයා තිබෙනවා. නෙළුම් කුළුණේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2012 වසරේදී.  සන්නිවේදන තාක්ෂණික අවස්ථා, සුපිරි අවහන්හල් මෙන්ම සුපිරි වෙළඳසල්ද මෙම කුළුනට ඇතුළත්. නව කුළුණ ජනතා අයිතියට පත් කිරීමත් සමග සංචාරක ක්ෂේත්‍රයට ද නව මානයක් එක් කරන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

නැරඹුම් මැදිරියක්,අධි සුඛෝපභෝගී කාමර සහිත හෝටල්, විදුලි සෝපාන සහ කැරකෙන  භෝජනාගාර සහිත නෙළුම් කුළුණ තුළ අමුත්තන් දහසකට පමණ සහභාගීවීමට හැකි ශාලාවක්ද නිර්මානය කර තිබෙනවා.  කුළුණේ පහල කොටසේ පරිපාලන කාර්යාලයක්, අමුත්තන්ගේ ශාලාවක්,  ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවක් මෙන්ම කලාගාරයක් මෙන්ම කෞතුකාගාරයක්ද ඉදිකර තිබෙනවා. නෙළුම් කුළුනේ 08 වන මහලේ මීටර් 248.2 උස ප්‍රමාණයේදී අවට නැරඹීම දුරදක්නයක්ද සවි කර තිබෙනවා. මෙරට ගොඩනැගිල්ලක ඇති වේගවත්ම විදුලි සෝපානය ඇත්තේ නෙළුම් කුළුණේයි. අධි තාක්ෂණික ගොඩනැගිල්ලක් වන මෙහි එක් මහලක සිට තවත් මහළකට යා හැක්කේ ස්වයං අවසර ක්‍රමවේදයක් යටතේයි. ශ්‍රී ලංකා සහ චීන ඉංජිනේරුවන්ගේ බුද්ධිමය දායකත්වය මත මෙය ඉදිකෙරුණා. ඒ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ පූර්ණ මෙහෙයවීම යටතේයි.

කුළුණේ පළමු සහ දෙවන මහල් ගුවන්විදුලි හා රූපවාහිනී  සම්ප්‍රේශන කටයුතු සදහා භාවිත කිරීමට නියමිතයි. රූපවාහීනී සේවා  50 කට, ගුවන්විදුලි සේවා 50 කට සහ  විදුලි සංදේශන ආයතන 20 කට සිය උපාංග සවිකිරීමටද මෙහි අවස්ථාව සැපයෙනවා. මේ අනුව කොළඹ නගරයේ විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත කර ඇති ඇන්ටනා සංඛ්‍යාව අවම කිරීමට හැකි වන බවයි විදුලි සංදේශ කොමිසම් සභාව සදහන් කරන්නේ. සියලු සම්ප්‍රේෂක ආයතනවලට ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව එක්වර විකාශය කිරීමේ හැකියාවද මෙයින් සැළසෙනවා. නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන් තීම් පාර්ක් නමින් විනෝදාස්වාදන සපයන අලංකාර උද්‍යානයක්ද ඉදිකිරීමට නියමිතයි. රථවාහන 2000 ක් ගාල් කළ හැකි රථගාලක්, සාප්පු සංකීර්ණයක්, කාර්යවර්ධන මධ්‍යස්ථානයක්,පිහිනුම් තටාකයටක් හා සිනමා ශාලාවක් එහි ඉදිකෙරෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්