පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පීඩාවට පත් ජනතාවට රුපියල් මිලියන 94කට අධික මුදලක්
Related Articles
පාස්කු ඉරිදා දේවස්ථානවලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 94කට අධික මුදලක් වෙන්කර තිබෙනවා. ඉන් රුපියල් මිලියන 9 ක මුදලක් එම ජනතාව වෙත අද ප්රදානය කෙරුණා. ඒ අගදරගුරු නිල නිවසේදීයි.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සුවිශේෂී දායකත්වයෙන් සය වැදෑරුම් සංවර්ධන ප්‍රවේශයක් ඔස්සේ ස්වශක්ති වැඩසටහන ක්‍රියාත්මකයි. පාස්කු ඉරිදා දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාරවලින් පීඩාවට පත් පවුල්වල සාමාජිකයින් සමාජ, ආර්ථික, අධ්‍යාපනික හා ආධ්‍යාත්මික වශයෙන් බල ගන්වමින් ස්වශක්තියෙන් නැගී සිටීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම මෙහි අරමුණයි. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මග පෙන්වීම යටතේ කතෝලික සභාවේ සමාජ සේවා ආයතනය වන සෙත් අරණ ද මීට දායකත්වය ලබා දෙනවා.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විපතටපත් පවුල් 116 ක සාමාජිකයින් 298 දෙනෙකුට අද මුදල් පිරිනැමුණා. එම දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව සඳහා වෙන්කර ඇති මුළු මුදල රුපියල් මිලියන 21 කට අධිකයි. ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රජා සවිය, දෑතේ සවිය, නිපුණ සවිය, දැය සවිය හා දිරිය සවිය යන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. එමෙන්ම කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් මිලියන 48 කට අධික මුදලක් වෙන්කර ඇති අතර ඉන් රුපියල් මිලියන 12 කට වැඩි මුදලක් මේ වන විට ලබා දී තිබෙනවා. ජලනි ප්‍රේමදාස මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.