සංචාරක හෝටල් ඇතුළු සංචාරක කර්මාන්තයේ නියැලී සිටින්නන් වෙත සහන සැලසීම කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශ වලට උපදෙස් ලබාදී තිබෙනවා. මෙම උපදෙස් ලබාදී ඇත්තේ ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදීයි.
මුදල් අමාත්‍යාංශය, සංචාරක මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සංචාරක ක්ෂේත්රයට අදාළ ආයතන නියෝජනය කරමින් පැමිණි පිරිසක් සමග ජනාධිපතිතුමා ඊයේ පස්වරුවේ සංචාරක කර්මාන්තය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහිදී සංචාරක මණ්ඩලයේ ලියාපදිංචිවී සිටින සංචාරක කර්මාන්තයේ නියැලි වෘත්තිකයින් වෙත සහන සැලසීමට රජය පසුගියදා ගත් තීරණ නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා එහිදී නිලධාරීන්ට අවධාරණය කළා.
මෙරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අඩපන වූ සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීම වෙනුවෙන් ජනාධිපතිතුමා විශේෂ අනුකාරක සභාවක් ද පිහිටුවමින් තීරණ රැසක් ගනු ලැබුවා. එහි ප්රතිලාභ තවමත් ක්ෂේත්‍ර යේ නිරත වෘත්තිකයින් වෙත විධිමත්ව ලැබී නොමැති බවට ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත්වී තිබුණා.
ඊයේ පැවති රැස්වීමේ දී ජනාධිපතිතුමා උපදෙස් ලබාදී ඇත්තේ සහන ණය ලබාදීම, ලීසිං වාරික ඇතුළු ගැටලු සම්බන්ධයෙන් සහන සැලසීමට අදාළ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ සහ සංචාරක අමාත්‍යාංශයේ නියෝජිතයන් දෙදෙනෙකු පත්කිරීමටයි.