fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆාෂියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ජනපති ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 18:07

ෆාෂියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ජනපති ප්‍රධානත්වයෙන්

ෆාෂියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය පිළිබද ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාව අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

ෆාෂියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය පිළිබද ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පැවැත්වීමට හේතුවූයේ ෆාෂියන් හිමියන්ගේ  ධර්ම ගවේෂණ චාරිකාවට වසර 1620 ක් සම්පූර්ණ වීම සැමරීම සදහායි. චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සදානුස්මරණීය සංකේතය ලෙස සැලකෙන ෆාෂියන් හිමියන්ගේ ලංකාගමනය ක්‍රිස්තු වර්ෂ  410 දී සිදුවූ බව සදහන්. උන්වහන්සේ මෙරට වසර දෙකක් වැඩවෙසෙමින් සිද්ධස්ථාන වැදපුදාගත් බවත් ධර්ම ග්‍රන්ථ සොයා පිටපත් කිරීමෙහි යෙදුනු බවත් ඉතිහාසයේ දැක්වෙනවා.

එමෙන්ම චීනය හා ශ්‍රී ලංකාව අතර බෞද්ධ පුනරුදය ඇති වීමට ද උන්වහන්සේගේ ලංකා ගමනය හේතුවූ බව විද්වතුන්ගේ අදහසයි.  ෆාෂියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය සම්මන්ත්‍රණය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමරු මුද්දරයක් එළි දැක්වීම මෙහිදී සිදු කෙරුණා. ඒ වෙනුවෙන් පළකරන  ලද සමරු කලාපය ජනාධිපතිතුමා වෙත පිළිගැන්විම සිදු කෙරුනේ ඉන් අනතුරුවයි.

පාසල් දරුවන් අතර පැවති චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ලිංෆන් ෆාෂියන් සංස්කෘතික ආයතනයේ සභාපතිනිය වෙත ගෞරව සම්මානයක් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර මෙම සුවිශේෂී අවස්ථාව

සනිටුහන් කරමින් දෙරට අතර සිහිවටන හුවමාරු කර ගැනීම ද විශේෂත්වයක්. ශ්‍රී ලංකා ලුං හුවා ආයතනය, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය එක්ව මෙරට පළමුවරට සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණයට ෆාෂියන් හිමියන් උපන් පළාතේ නගර සභා නියෝජිතයන්, බෞද්ධ සංවිධාන මෙන්ම ෆාෂියන් පර්යේෂණ ආයතනයේ නියෝජිතයින් ද ඊට එක්ව සිටිනවා.

මේ අතර කාම්බෝජ අග්‍රාමාත්‍ය කාර්යාල ඇමති සහ ඉස්ලාමීය කටයුතු පිළිබද අමාත්‍ය ඔක්න්හා ධාතුක් ආචාර්ය ඔත්ස්මාන් හසන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසුනා. මෙහිදි දෙපාර්ශ්වයේ සාකච්ඡාවට ලක්ව ඇත්තේ පසුගියදා ජනාධිපතිතුමාගේ කාම්බෝජ සංචාරයේදී එකගවූ දෙරට අතර අධ්‍යාපන සංචාරක කර්මාන්ත හා අනෙකුත් අංශවල ද්වී පාර්ශ්වික සබදතා  වර්ධනය කර ගැනීමේ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමයි.

කාම්බෝජ අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවේදී එකගවූ පරිදී දෙරට අතර සෘජු ගුවන්සේවා ආරම්භ කිරීමේ සහ තානාපති කාර්යාල පිහිටුවීමේ කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බවද  ජනාධිපතිතුමා එහිදී සදහන් කළා. එහිදී කාම්බෝජ අමාත්‍යවරයා පැවසුවේ දෙරට අතර අත්සන් තැබුණු වෙළෙද ගිවිසුම භාවිත කරමින් දෙරටේ ව්‍යාපාරිකයන්ට කර්මාන්තවල ආයෝජනය කිරීමේ සහ දැවැන්ත ආසියාන් සහ ඉන්දියානු වෙළෙදපොලතුළ සිය නිශ්පාදන අලෙවි කර ගැනීමේ අවස්ථාව පවතින බවයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 18:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්