හොඳ රටක් හා යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ කටුගස්තොට රාහුල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවති ස්මාර්ට් ශ්‍රී ලංකා තරුණ ජන හමුව අමතමින්.
නිපුණතා පිරි තාරුණ්‍යය සවිබල ගන්වමින් ස්ථාපනය කෙරුණු මහනුවර දිස්ත්‍රික් ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ජනාධිපතිතුමා අතින් අද පෙරවරුවේ විවෘත කෙරුණා. මෙම මධ්‍යස්ථානය ස්ථාපනය කර ඇත්තේ කටුගස්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු ගොඩනැගිල්ලකයි. සමරු ඵලකය නිරාවරණය කර වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් තරුණ තරුණියන් සමග සුහද කතාබහකට ද එක්වුණා. දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ජන හමුව පැවැත්වුණේ ඉන් අනතුරුවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/a7LKKL2IAOo”]
මහනුවර දිස්ත්‍රික් ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට අදාළ වගකීම් පැවරීමේ ලිපි ප්රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා.
මේ අතර පල්ලේකැළේ පළාත් ආයුර්වේද රෝහලේ ඇඳන් 100 කින් යුත් නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පැවරුණේ ජනාධිපතිතුමා අතින්. දීර්ඝ කාලයක් පුරා රෝහලේ පැවති අඩුපාඩුවක් සපුරාලමින් සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුකම් පුළුල් කරමින් මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම නව වාට්ටු සංකීර්ණය ඉදිකර තිබෙනවා. වාට්ටු සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. නව වාට්ටු සංකීර්ණය සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියා පදිංචි කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්. ප්‍රජා සත්කාරක සේවාවන් වෙනුවෙන් රෝහල වෙත රුපියල් මිලියන 17 ක වටිනාකමින් යුත් ලොරි රථ 2 ක් ප්රදානය කිරීම ද ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සිදුකෙරුණා.