ඓතිහාසික මහනුවර ඇසල මහා පෙරහර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් වුණා. ඒ ඊයේ (14) රාත්‍රියේ වීදි සංචාරය කළ අවසන් රන්දෝලි පෙරහරින් පසුව අද අලුයම සිදු කළ දියකැපීමේ මංගල්‍යයෙන් අනතුරුවයි.
දින ගණනාවක් පුරා පැවති මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැරයි ඊයේ (14) රාත්‍රියේ විථි සංචාරය කළේ. මියන්රාජා හා බුරුමරාජා යන දෑල ඇතුන් සමඟ කතරගම වාසනා ඇතා සධාතුක පෙරහර කරඩුව වැඩම කරවමින් රාත්‍රී 08 පසුවී මිනිත්තු 05 ක යෙදුණු සුබ මොහොතින් පෙරහර ගමන් ආරම්භ කළා.
දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය ඔස්සේ ගමන් කළ පෙරහර රජවීදියෙන් ඉහලට ඇතුළු වුණා. අනතුරුව අද (14) අලුයම 02 පසුවී මිනිත්තු 12ට යෙදුනු සුබමොහොතින් නාත, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව්මහා දේවාල පෙරහර සමගින් එක්වූ දළදා පෙරහර අස්ගිරිය ගෙඩිගේ ආදාහන මලුව විහාරයට ගොස් පෙරහර කරඩුව තැන්පත් කිරීම සිදුකළා. ගැටඹේ දිය කපනා ගංතොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරුණේ ඉන් අනතුරුවයි.
මේ අතර පෙරහර සාර්ථකව අවසන් කළ බව දක්වන සන්දේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාර කෙරුණා. පෙරහර අලංකාරවත් කිරීමට සහභාගී වූ නර්ථන ශිල්පීන් වාදකයන් හා අලි ඇතුන්ටද ජනාධීපතිවරයා අතින් එහිදී තිළිණ හා සම්මාන ප්රදානය කෙරුණා. සංස්කෘතික වැදගත්කම් රැසකින් හෙබි ඇසළ මහා පෙරහර මංගල්‍යය හා බැදුණු ඓතිහාසික තොරතුරු මහනුවර ශ්‍රී දළදා මාලිගයේ මාධ්‍ය ඒකකය සමග එක්ව ITN මාධ්‍ය ජාලය ඔස්සේ නිරන්තරයෙන් ඔබවෙත වෙත ගෙන ආවේ අප සතු මාධ්‍ය වගකීම නිසිලෙස ඉටුකරමින්.