ලබන වසරේ පළමු මාස 4 ක කාලය සඳහා අවශ්‍ය වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුමක් සකස්කර පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය එකගත්වය පළකළා. ඒ ඇතුළු තවත් යෝජනා කිහිපයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම වසරේ අවසාන කාලයේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට යෙදී ඇති බැවින් ඉන් පසු පත්වන අමාත්‍ය මණ්ඩලයේ සංයුතියට අනුකූලව හා රජයේ නව ප්‍රතිපත්ති මූලික කර ගනිමින් ලබන වසර සඳහා අයවැය සකස් කිරීමට හැකිවන පරිදි මෙම කටයුතු සිදු කෙරෙනවා. 2020 වර්ෂය සඳහා වන අයවැය කටයුතු ආරම්භ කිරීම පසුවට කල් තබා ලබන වසරේ මුල් මාස 4 ක කාලය සදහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා.
2018 අංක 35 දරණ මුදල් පනත සංශෝධනය සඳහා මුදල් කෙටුම්පත පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය එකගත්වය පළකළා.
ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. සංචාරක ක්ෂේත්රයේ සහයෝගීතාව වර්ධනය වෙනුවෙන් මෙම ගිවිසුමට එළඹීමට නියමිතයි.
විදුලි තාක්ෂණ සේවකයන් සදහා වෘත්තීය බලපත්‍ර ක්‍රමයක් මෙම මාසයේ සිට ක්‍රියාත්මක කෙරෙනවා. එම බලපත්‍ර ක්‍රමය ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන ආයතනයට බලය පැවරීමට සහ එය අධීක්ෂණය සඳහා විදුලි කාර්මික වෘත්තීය බලපත්‍ර ක්‍රමය බලාත්මක කිරීමේ හා සමාලෝචනය කිරීමේ කමිටුවක් පත් කෙරෙනවා.
පේරාදෙණිය , ශ්‍රී ජයවර්ධනපුර , කොළඹ සහ කැලණිය යන විශ්වවිද්‍යාල විදේශ ආයතන සමඟ ගිවිසුම්වලට එළඹීමට එම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට බලය පැවරෙනවා. පේරාදෙණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල තායිලන්තයේ තාක්ෂණය පිළිබඳ ආසියා ආයතනය සමඟ ගිවිසුම් දෙකකට එළඹීමට නියමිතයි. කොළඹ විශ්වවිද්‍යාලය ඔස්ට්‍රියාවේ ග්‍රාස් විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුමකට එළඹෙන අතර කැලණිය විශ්වවිද්‍යාලය ඉම්පීරියල් විද්‍යාලයේ විද්‍යාව , තාක්ෂණය හා වෛද්‍ය විද්යායව පිළිබඳ පර්යේෂණ කාර්යාලය සමඟ ගිවිසුමකට එළඹීමට නියමිතයි.
දැනට පවතින කඩොලාන භූමි සංරක්ෂණය කිරීම හා ඉස්සන් වගාව සහ ලුණු ලේවායන් වැනි කටයුතු සදහා භාවිත කර අත්හැර ඇති රජයට අයත් කඩොලාන ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කෙරෙනවා. දැනට පවතින කඩොලාන භූමි ප්‍රමාණයක් හෙක්ටාර දසදහසකින් වැඩි කිරීම සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනාවී තිබෙනවා.