ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ නිකිණි පුර පසළොස්වක පොහොය අදයි. ඒ වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ පිංකම් සංවිධාන කර තිබෙනවා.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදදහම සම්බන්ධයෙන් එල්ල වූ විනය විරෝධී ආකල්ප නැතිකරමින් ශාසන චිරස්ථිතිය සඳහා ප්‍රථම ධර්ම සංගායනාව අද වැනි නිකිණි පුර පසළොස්වක පොහෝ දිනක පැවැත්වුණා. විනයකර්ම සිදුකර වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන්ට පසුවස් එළඹීම සඳහා බුදුන් අනුදැන වදාළේ ද අද වැනිම වූ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයක්. ප්‍රථම ධර්ම සංගායනාවට පෙර ධර්ම භාණ්ඩාගාරික වන ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත්වූයේ ද අද වැනි නිකිණි පුර පසළොස්වක පොහොය දිනකයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා පළමුව උරුවෙල් දනව්වේ සේනානිගමට වැඩම කරවීමද අද වැනි නිකිනි පුන් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. එමෙන්ම උන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල මංගල චෛත්‍යයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ද මෙම උතුම් පොහෝ දිනයේ සිදු වූ බව වංශ කතාවල දැක්වෙනවා. නිකිනි පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකදීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. ඒ සඳහා සැදැහැවතුන් විශාල වශයෙන් එක්ව සිටින බවයි දැකගත හැක්කේ.
ITN සවනක් රැස් පොහෝ දින සජීව වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ මහනුවර ඓතිහාසික ලංකාතිලක රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින්. සවනක් රැස් වැඩසටහනේ ධර්ම දේශනාව පැවැත්වූයේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය හීනියගම චන්දිම ස්වාමීන් වහන්සේයි. ධර්ම සාකච්ඡා, භාවනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් දවස පුරා එම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
මේ අතර ITN FM ශාසනාලෝක වැඩසටහන ද මහනුවර ඓතිහාසික ලංකාතිලක රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. සාමනේර භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ධර්ම ග්රන්ථ කට්ටල පූජා කිරීම සහ උන්වහන්සේගේ දෙමව්පියන්ට උපහාර දැක්වීම ද මෙහිදී සිදුකෙරුණා.