ලොව පුරා රටවල් රැසකට බලපා ඇති ගංවතුර හා නායයාම් හේතුවෙන් පුද්ගලයින් 220 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව මිලියන ගණනක් අවතැන්ව සිටිනවා.
ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 147 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මහාරාෂ්ට්‍ර, කර්නාටක සහ කේරළ යන ප්‍රාන්තවලටයි ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ල වුණේ. කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් හැත්තෑ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. මෙම ප්‍රාන්තවල ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් අවතැන්ව සිටිනවා.
චීනයට බලපෑ ලෙකීමා සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් 16 දෙනෙකු තවමත් අතුරුදන් බවයි චීන වාර්තා සඳහන් කරන්නේ. පුද්ගලයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා. මිලියන 20 ක් පමණ සිටින ෂැංහයි ප්‍රාන්තය දෙසට සුළි කුණාටුව අද දිනයේදී පැමිණීමට නියමිතයි.
මේ අතර වියට්නාමයට බලපැ විෆා සුළිකුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් 06 දෙනෙකු තවමත් අතුරුදන් බව සදහන්. ගංවතුර හා නායයාම් හේතුවෙන් නිවාස 3900කට හානි සිදුවුණා.
පාකිස්තානයට ද ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඉන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. මිලිමීටර 180 ක පමණ දැඩි වර්ෂාපතනයක් කරාචි නගරයට බලපා ඇති බවයි පාකිස්තාන කාලගුණ අංශ සඳහන් කරන්නේ.