අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පානදුර පිංවත්ත මාර්ග බාධකයේ සිටි භට පිරිස් කළ වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි එම සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ.
මත්තෙගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ල කා පළා යන බවට අදාළ වෑන් රථයේ හිමිකරු මත්තෙගොඩ පොලිස් ස්ථානයට දැනුම් දී තිබුණා. වෑන් රථයේ සවි කර තිබු ජී පී එස් උපකරණ මගින් වෑන් රථය ගමන් ගන්නා මාර්ගය පිළිබදවද ඔහු පොලීසියට දැනුම් දී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අගුරුවාතොට පොලිස් ස්ථානය දැනුවත් කිරීමටයි පියවර ගැනුණේ. අනතුරුව අගුරුවාතොට පොලිස් ස්ථානයේ නිලධාරීන් හතර දෙනෙකු යතුරුපැදි දෙකකින් මෙම වෑන් රථය පසුපස හඹා ගොස් තිබෙනවා. පානදුර පිංවත්ත මාර්ග බාධකයේදී මෙම වෑන් රථය අණ නොතකා යුද හමුදා සෙබලුන් දෙදෙනෙකුද අනතුරට ලක් කර පළා ගිය බවයි පොලීසිය පවසන්නේ. එම වෑන් රථය පළා යාමත් සමග වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වාහනය පසු පස හඹා ගොස් එම වෑන් රථයේ මග හරස් කර නතර කෙරුණා. ඒ සමග සැකකරුවන් දෙදෙනා වාහනය දමා පළා ගොස් ඇති අතර ඒ අවස්ථාවේයි යුද හමුදා සෙබළුන් වෙඩි තැබීම සිදු කර ඇත්තේ. එහිදී එක් සැකකරුවෙකු තුවාල ලැබූ අතර ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. පළාගිය අනෙක් සැකකරු පානදුර පිංවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මොහු දැනට පොලිස් ආරක්ෂාව යටතේ පානදුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.