යේමනයේ ක්‍රියාත්මක සෞදි නායකත්වයෙන් යුතු හමුදා තවදුරටත් අසාදු ලේඛණ ගත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා.
සෞදි හා මිත්‍ර හමුදා විසින් එල්ල කෙරුණු ප්රහාරවලදී කුඩා දරුවන් 729 දෙනෙකු ඝාතනය කිරීම හෝ තුවාල කිරීම සම්බන්ධයෙන් මෙම අසාදු ලේඛණය සකස් කර තිබෙනවා. එහෙත් විචාරකයන් සදහන් කරන්නේ මෙම ක්‍රියාමාර්ගය පමණක් ප්‍රමාණවත් නොවන බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය අදාළ හමුදාවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ඔවුන් සදහන් කරනවා. යේමනයේ හූති සටන් කරුවන්ට එරෙහිව සෞදි අරාබිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් කිහිපයක් පසුගිය කාලය තුළදී ප්‍රහාර එල්ලකළා. එම ප්රහාරවලදී කුඩා දරුවන් 729 දෙනෙකු ඝාතනය වීම හෝ තුවාල ලැබීම සිදුවූ බවයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු වාර්තාවක දැක්වුනේ. මීට අමතරව පලස්තීනය, ඇෆ්ගනිස්ථානය, සිරියාව වැනි යුද්ධය පවතින රටවල ද ළමයින් අනතුරට පත්වන ආකාරය පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත වාර්තා වී තිබෙනවා. එම වාර්තාවට අනුව රටවල් 20ක ළමයින් විසිහතර දහසකට වැඩි සංඛ්‍යාවක් යුද්ධයෙන් පීඩාවට පත්ව සිටිනවා.