ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුව පවසනවා. ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපීය උප සභාපති හාර්ට්වින් ෂේෆර් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවේ මේ බව ප්‍රකාශ කළා.
ජනාධිපතිතුමා සහ ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපීය උප සභාපති අතර හමුව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීයි. සහයෝගීතාවේ සංකේතයක් ලෙස ලෝක බැංකු කලාපීය ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ හමුව කොළඹදී පැවැත්වීමට තීරණය කර ඇති බව උප සභාපතිවරයා මෙහිදී පැවසුවා. එය විශේෂයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නැගී සිටීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයට සහයෝගය දැක්වීමක් ලෙසයි.
ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත්ව තිබීම පිළිබද ඔහු සතුට පළකළා. අභියෝග හමුවේ නොසැලී සිටිමේ ශ්‍රී ලංකාව සතු සුවිශේෂී ගුණාංගයට එය මහගු සාක්ෂියක් බවද සදහන් කළා. පාස්කු ඉරිදා සිදුවීමෙන් පසු ශ්‍රී ලංකාව කඩිනමින් යථා තත්ත්වයට පත්වීම ද ඔහුගේ ඇගයීමට ලක්වුණා. සියලු අසීරුතාවන් වලදී ගෝලීය ප්‍රජාව ශ්‍රී ලංකාව සමග බවද ඔහු පැවසුවා.
ශ්‍රී ලංකාවට ලෝක බැංකුව ලබාදෙන ආධාර පුළුල් කිරීම යටතේ කෘෂි සහ වාරි ක්ෂේත්රයන්හි සංවර්ධනයට දායකවීම ද සිදුකෙරෙනවා. පුනර්ජනනීය බලශක්ති, කාලගුණික විපර්යාසවලින් වන බලපෑම අවම කිරීමේ මෙහෙයුම් හා ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය සදහා සහාය වීම මේ යටතේ සිදුකෙරෙනු ඇති. දිගුකලක් තිස්සේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගයට ජනාධිපතිතුමා ප්‍රශංසාව පළකළා.