එක්දින ක්රිකට් ලෝක කුසලාන ඉතිහාස වංශ කතාවට අද නව පරිච්ඡේදයක් එක්වනවා. ඒ මින් පෙර ලෝක කුසලානයකට හිමිකම් නොකියු රටක් අද ලෝක ශුරයන් ලෙස අභිෂේක ලබන බැවින්.
ලන්ඩන් නුවර ඓතිහාසික ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන අවසන් මහා තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 03ට ආරම්භ වනවා. එංගලන්තය සහ නවසීලන්තය මේ වන තෙක් ලෝක කුසලානයක් ජයග්රහණය කිරිමට සමත්ව නැහැ. නවසීලන්තය පළමුවරට ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ 2015 දීයි. එංගලන්ත කණ්ඩායම අවසන් මහා තරගයකට මෙවර සුදුසුකම් ලබා ගන්නේ වසර 27කට පසුව වීම විශේෂත්වයක්. මීට පෙර ඔවුන් 1979 / 87 සහ 92 ලෝක කුසලාන අවසන් මහ තරගවලට සුදුසුකම් ලැබුවා. එංගලන්තය සහ නවසීලන්තය අතර මේ වන විට එක්දින තරග 90ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 43ක ජය හිමි කරගත්තේ නවසීලන්තයයි. එංගලන්තය ජය ලබා ඇත්තේ තරග 41ක් පමණයි. ලෝක කුසලාන ඉතිහාසයේ දෙරට මුණගැසි ඇති තරග 09න් එංගලන්තය තරග 04ක්ද නවසීලන්තය තරග 05ක්ද ජයගෙන තිබෙනවා.
ලෝඩ්ස් ක්රිඩා පිටියේ ඉතිහාසය ගෙන බැලිමේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කණ්ඩායම ජයග්රහණය කිරිමේ වැඩි අවස්ථාවක් පවතින බවයි ක්රිඩා විචාරකයින් පෙන්වා දෙන්නේ. අද දිනයේදී ලන්ඩන්හි ලෝඩ්ස් ක්රිඩාංගනය අවට ප්රදේශයේ වලාකුළු සහිත අහසක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් වර්ෂාවෙන් තරගයට දැඩි බලපෑමක් එල්ල නොවනු ඇති බව එරට කාලගුණ අංශ සඳහන් කරනවා.