fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් ලැබුණොත් යා යුතුයි

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 17:07

ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් ලැබුණොත් යා යුතුයි

නීතිය අනුව ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් ලැබුණොත් යා යුතු යි. එසේ නැති වුවහොත් එය පාර්ලිමේන්තුවට සිදු කරන අපහාසයක් ලෙස සළකන්නට සිදු වෙනවා යැයි කතානායක කරූ කයසූරිය මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කතානායකවරයා අද (9) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

පාස්කු 21 ප්‍රහාරය සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කැඳවා තිබූ අතර කතානායකවරයාගේ නිශ්චිත මතය පාර්ලිමේන්තුවට දන්වා සිටින ලෙස මන්ත්‍රීවරයා ප්‍රකාශය සඳහන් කරමින් කියා සිටියේ ය.

එහිදී අඳහස් දැක්වූ කතානායකවරයා, ”පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව ඇති කළේ, ආණ්ඩුවෙත් විපක්ෂයෙත් ඒකමතික එකඟත්වයෙන්. විපක්ෂයෙත් උනන්දුවක් තිබුණා. ඉන් අනතුරුව පක්ෂ නායකයින්ගේ රැස්වීමට ඉදිරිපත් කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, එකඟත්වයෙන් සිදු කළේ.

අවුරුදු විසි ගණනකට පසුව අප ස්ථාවර නියෝග වෙනස් කළා. වර්තමානයට ගැළපෙන ආකාරයට අප පාර්ලිමේන්තුවේ නීති රීති වෙනස් කළා. මාධ්‍ය ගෙන්වීමේ බලයත් අප එම කමිටුවලට බාර දි තිබෙනවා. පාර්ලිමේන්තු විශේෂ කාරකසභාව ආරම්භ කලාට පසුවයි නඩුවක් ගියේ. ඒ නිසා එය නවත්වන්න බෑ. එය සිරිතක්. ඒ වාගේම අලුත් ස්ථාවර නියෝග අනුව කතානායකවරයාට බලතල තිබෙනවා, හැඟී යනව නම් කරගෙන යන්න පුළුවන්. මෙතැන දී මම නීති උපදෙස් ලබාගත්තා.

මෙතැන දි යම් කිසි අගතියක් වේ නම්, ඒ ගැන විශේෂ කාරකසභාවට දැක්විය හැකියි. ජනාධිපතිතුමා විසින් එවන ලද ලිපිය ගැන සඳහන් කළා. ජනාධිපතිතුමා විසින් එවන නියෝග මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අනෙකුත් ලිපි අදාළ විදියට ක්‍රියා කරනවා. මෙතැන කිසිම දෙයක් වැරදියට සිදු වී නෑ. මගේ උපදේශය මෙයට සහභාගී වීම යෝග්‍යයයි කියලා. පාර්ලිමේන්තු සම්ප්‍රධාය අනුවයි කටයුතු කළේ. නීතිය අනුව ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් ලැබුණොත් යා යුතු යි. එසේ නැති වුවහොත් එය පාර්ලිමේන්තුවට සිදු කරන අපහාසයක් ලෙස සළකන්නට සිදු වෙනවා යැයි පැවසීය.”

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 17:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්