බන්ධනාගාර කොමසාරිස්වරයා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභයෝගයට ලක් කරමින් ගොණු කළ රීට් පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (03) දිනට කල් තැබීමට අභියාචනාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අද (02) නියෝග කළා.
මෙම පෙත්සම පංචපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවූ අවස්ථාවේ නීතිපතිවරයා ඊට එරෙහිව මූලීක විරෝධතා ඉදිරිපත් කළා. මෙම පෙත්සම මගින් ජනාධිපතිවරයාගේ තීරණයක් අභියෝගයට ලක් කර ඇති බැවින් අභියාචනාධිකරණයට එය විභාග කිරීමට බලයක් නොමැති බවට නීතිපතිවරයා මූලික විරෝධතා ඉදිරිපත් කළා. කෙසේ වෙතත් මෙම පෙත්සම මගින් අභියෝගයට ලක් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තීරණය නොවන බවත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයා ගෙන ඇති තීරණය පමණක් බවත් පෙත්සම්කරුගේ නීතීඥයා අධිකරණයට දැනුම් දුන්නා.
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම මෙම සතිය තුළ සිදු නොකරන බවට බන්ධනාගාර කොමසාරිස්වරයා පසුගිය සිකුරාදා අභියාචනාධිකරණයේදී කියා සිටියා. මාධ්‍යවේදී මලින්ද සෙනවිරත්න මහතා ගොනු කළ මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ මරණ දඩුවම ක්‍රියාත්මක විම වැළැක්වීමේ අතුරු නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත නිකුත් කරන ලෙසයි. මේ වන විට මරණ දඩුවම නියමි වී සිටින පුද්ගලයින් 04 දෙනෙකු සම්බන්ධයෙන් එය ක්‍රියාත්මක කිරීම සදහා තමා අත්සන් කර ඇති බවට ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කර ඇති බව පෙත්සම්කරු පවසනවා. ඒ තුළින් මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි පෙත්සම්කරු තවදුරටත් පවසන්නේ.
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට ප්‍රංශ තානාපති කාර්යාලයද සිය කනස්සල්ල පල කර තිබෙනවා. වසර 43 ක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවූ තත්ත්වයක් තුළ එය තවදුරයත් පවත්වාගෙන යාම යහපත් බවයි ප්‍රංශ තානාපති කාර්යාලය තවදුරටත් පෙන්වා දෙන්නේ. මාස 06කට පෙර එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයේදී මරණීය දණ්ඩනය භාවිත කිරීම පිලිබද විශ්වීය තහනමක් ඉල්ලා තිබූ යෝජනාවට ශ්‍රී ලංකාව සහාය පල කළ බව තානාපති කාර්යාලය පෙන්වා දෙනවා.
මේ අතර මරණ දඩුවම පිළිබඳ ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/s9Uh1ALpxJc”]