ශ්‍රී ලාංකිකයන්ට වෘත්තීයමය ක්ෂේත්‍ර 14 ක ජපානයේ රැකියා අවස්ථා හිමිවන ගිවිසුමට අද අත්සන් තැබුණා. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ජපානයේ අධිකරණ , විදේශ කටයුතු , කම්කරු සහ සුබසාධන යන අමාත්‍යවරුන් ඊට අත්සන් තැබුවේ ජපානයේ දීයි.
ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා උදාකෙරෙන මෙම ගිවිසුම වසර 10 කාලයක් ක්‍රියාත්මක වනවා. එම කාලය තුළදී රැකියා අසීමිත සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයන්ට හිමිවන බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.
සාත්තු සේවිකා , ගොඩනැගිලි පිරිසිදු කරන්නන් , යන්ත්‍ර කොටස් හා එකලස් , කාර්මික යන්ත්‍ර කර්මාන්තය සහ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු කර්මාන්තය ඊට ඇතුළත්. ඉදිකිරීම් ක්ෂේත්රය , නැව් කර්මාන්තය , රථවාහන හා නඩත්තු , ගුවන් යානා කර්මාන්තය , නවාතැන් පහසුකම් , කෘෂිකර්මාන්ත , ධීවර හා ජලජීවි වගාව , ආහාර පාන නිෂ්පාදනය හා ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්රවල ද රැකියා ලැබීමට නියමිතයි. ඉදිරියේදී ජපානයේ වෘත්තීය විශේෂඥයින් මෙරටට පැමිණ අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදී පුහුණු ශ්‍රමිකයන්ට රැකියා ලබාදීම මේ අනුව සිදුකෙරෙනු ඇති. ජපානයේ රැකියා අවස්ථා හිමිවීමත් සමඟ එරට රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන් මුදල් රැස්කිරීමේ අවදානමක් පවතින බැවින් ඊට හසු නොවන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර ජපානයේ රැකියා අවස්ථා උදාවීම පිළිබඳ විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ලබන සිකුරාදා ITN 7 වන පැය වැඩසටහනේදී අදහස් දැක්වීමට නියමිතයි.