fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 19 කට පසු රක්ෂිත බන්ධනාගාරයට යන ජනතා නියෝජිතයන්

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 18:15

වසර 19 කට පසු රක්ෂිත බන්ධනාගාරයට යන ජනතා නියෝජිතයන්

අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. තඹුත්තේගම වැඩ බලන මහේස්ත්‍රාත් පුෂ්පානි වික්‍රමරත්න මහත්මියයි මෙම නියෝගය නිකුත් කළේ.

ජනාධිපතිවරණය පැවති 1999 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දේපළ රැසකට හානි කිරීමේ සිද්ධියකට අදාළවයි ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. ආනන්ද වේරගොඩ මහතා වර්තමානයේදී අනුරාධපුර ආහාර හා ඖෂධ පරීක්ෂකවරයා ලෙස ක්‍රියා කරනවා. මෙම සැකකරුවන් වසර 19 යි මාස හයකට අධික කාලයකට පසු තඹුත්තේගම මූලස්ථාන පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණා. තඹුත්තේගම මූලස්ථාන පොලීසිය මඟින් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණා. ඒ අනුව අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු හත් දෙනෙකු අධිකරණයේ පෙනී සිටි අතර ඔවුන් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ආධාරකරුවන් වූ අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච් පී සෝමදාස, උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී එම් ආර් සිරිපාල, ජගත් චන්ද්‍රසිරි, නිහාල් වන්නිආරච්චි, රාජාංගනය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා වත්මන් උප සභාපති සමන් නිල්මිනි වීරසිංහ, රංජිත් ගුණපාල, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති හා උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයාගේ පුත් ඉන්දික උදයකුමාර තෙන්නකෝන් යන අයයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2019 18:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo