චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා.
ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ඉදිකරන පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා එහි ඉදිකිරීම් කටයුතු සොයා බැලීමෙන් අනතුරුව අදාළ ඉදිකිරීම් සමාගමේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක ද නිරත වුණා. රෝහලේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර ඉතිරි නිම කිරීම් කඩිනමින් සිදුවන බවත් 2020 ජුනි 30 වනදා වනවිට සියලු කටයුතු සාර්ථකව නිමකර ජනතා අයිතියට පත් කිරීමට හැකියාව තිබෙන බවත් එහිදී සදහන් වුණා.
රෝහලේ ඉදිකිරීම් පසුගියදා චීන රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අධීක්ෂණය කළ අතර එය නිසි සැලැස්මට සහ ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන බවට චීන රජය සහතිකයක් ලබාදුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 මාර්තු මාසයේ දී චීනයේ සිදුකරන ලද නිල සංචාරය තුළ චීන ජනාධිපති ෂී ජින් පින් මැතිතුමා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ශ්‍රී ලංකාවට හිමිවුණා. මූලය හදුනා නොගත් වකුගඩු රෝගයෙන් පීඩා විදින දිවයින පුරා දිස්ත්‍රික් රැසක ජනතාවට තිබූ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල පොළොන්නරුව මහ රෝහලට නුදුරින් ඉදිකෙරෙනවා. ඇදන් 204 කින් , රුධිර කාන්දුකරන යන්ත්‍ර 100 කින් වකුගඩු බද්ද කිරීමේ ශල්‍යාගාර ඇතුළු ලොව නවීනතම පරීක්ෂණාගාර සහ අධි තාක්ෂණික පහසුකම්වලින් සමන්විතව ඉදිකෙරෙන මෙම රෝහල සදහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 12 ක්.